බදාදා සිට 5000 දෙයි, පවුල් ලක්ෂ 60කට සහන දෙන්න කෝටි 3,000ක්

සමෘද්ධිලාභීන් – රජයේ දීමනා ලබන්නන් – ආදායම් අහිමි වූවන් – අඩු ආදායම්ලාභීන් කාණ්ඩ 4කට ප්‍රතිලාභ.

රජය තීරණය කර තිබෙන්නේ පවතින කොරෝනා තත්ත්වය සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට එළැඹෙන ජූනි මස 2 වැනිදා සිට රුපියල් 5,000 දීමනාවක් පිරිනැමීමටයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටී නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත්, පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වූවන් සිටී නම් එම පුද්ගලයන්ටද මේ දීමනාව දෙන බවයි. මෙවර රුපියල් 5,000සේ දීමනාව දීම සඳහා රජය රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බවත් සමෘද්ධිලාභීන්ට, කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට, මේ වන විටත් කුමන හෝ රජයේ දීමනාවක් හිමි වන පුද්ගලයන්ට සහ හඳුනා ගත් අඩු ආදායම්ලාභීන් යන කාණ්ඩ හතර යටතේ මේ දීමනාව දෙන බවද හෙතෙම කීවේය.

මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට දීමට සිදු වන බවත් මේ දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගල‍න්ට දීම කරනු ලබන බවත් සේමසිංහ මහතා සඳහන් කළේය. සංචරණ සීමා හේතුවෙන් විවෘතව තැබීමට අවසර හිමි වන්නේ ඖෂධ අලෙවිසල්වලට පමණක් බවත් යම් අයකුට නිවෙසට ළඟම ඇති ඖෂධ අලෙවිසල් වෙත යෑමට අවසර හිමි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එහිදී කියා සිටියේය. එහෙත් යම් පුද්ගලයකු අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඔහු හෝ ඇය රෝහල් ගත කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඒ සඳහා තමන්ගේ වාහනයක් හෝ කුලී රථයක් යොදා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එමෙන්ම ජංගම සේවා සැපයීමේ රථ සඳහා මේ මස 31 වැනිදා දී ඇති අවසර පත්‍රය ලබන ජූනි මස 7 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. මේ අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයන්ට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ රාජකාරි සඳහා ගමන් කිරීමේදී සිය රාජකාරි හැඳුනුම්පතට අමතරව සේවයට කැඳවීමට අදාළව ආයතන ප්‍රධානියාගේ ලිපියක් ළඟ තබා ගැනීම අවශ්‍ය බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් මාර්ගෝපදේශ පොතක් නිකුත් කර තිබෙන බවට එම ශිෂ්‍යයන් සඳහන් කර තිබෙන බවත් එම පොත අලෙවි කරන යම් පොත් සාප්පුවක් තිබේ නම් ඊට අවසර දීමට සහ ඇණවුම් කර එය ගැනීමට අවශ්‍ය අවසර දීමටද තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මේ වසංගතයෙන් මිදීමට නම් එකම ක්‍රමය එන්නත්කරණය බවත් රජයට මුදල් නොමැතිකම හෝ අන්තර්ජාතික සම්බන්ධතා නැති හෙයින් මේ එන්නත රජයට ගෙන්වා ගැනීමට නොහැකි යැයි කවුරුන් හෝ පවසන්නේ නම් එය අමූලික බොරුවක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. තවත් මාස දෙක තුනක් යන විට මේ එන්නත අවශ්‍ය ප්‍රමාණයට ගත හැකි යැයි දැඩි විශ්වාසයක් තිබෙන බව ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment