කුසල් සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගනී

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමඟ ඩකාහිදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 97ක ජයක් හිමි කර ගැනීමට සමත් විය. මේ තරගාවලියේ මුල් තරග 2ක ජය ගනිමින් තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුවද, මේ ජය සමඟින් පූර්ණ තරගාවලි පරාජයකින් ගැලවීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 287ක ඉලක්කය හමුවේ බංග්ලාදේශ පිලට ඕවර 42.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 189ක් පමණි.

ඉනිමේ මුල සිටම බංග්ලාදේශ පිතිකරුවන් බැඳ තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, ඉනිමේ දෙවැනි ඕවරයෙන්ම බංග්ලාදේශයට අභියෝග කරමින් මොහොමඩ් නයීම් ලකුණකට සීමා කිරීමට දුෂ්මන්ත චමීර සමත් විය. ඉන් නොනැවතුණු ඔහු මුළු ලකුණු 28ක් වෙද්දී පළපුරුදු පිතිකරුවන් වන ටමීම් ඉක්බාල් (17) සහ ශකීබ් අල් හසන් (4) යළි ක්‍රීඩාගාරයේ හිඳුවමින් බංග්ලාදේශ පිල පීඩනයකට හසු කර ගත්තේය. ඉන් අනතුරුව මුෂ්ෆිකූර් රහීම් සහ මොසඩෙක් හොසේන් එක්ව ලකුණු 56ක සබඳතාවක් සමඟ මුළු ලකුණු සංඛ්‍යාව 84 දක්වා ඉදිරියට ගෙන ගියහ.

මුල් තරග දෙකේදී ශ්‍රී ලංකා පිලට හිසරදයක් වෙමින් තරගාවලියේ සාර්ථකම පිතිකරු බවට පත්ව සිටි රහීම්ගේ ඉනිම ලකුණු 28කට සීමා කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූයේ සිය මංගල එක්දින කඩුල්ල දවා ගනිමිනි. ඉනිම ගොඩනැඟීමේ හුදෙකලා සටනක නිරත වූ මොසඩෙක් හොසේන් ඊයේ සිය තෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමෙන් මොහොතකට පසු රමේෂ් මෙන්ඩිස්ට දෙවැනි කඩුල්ල හිමි කර දෙමින් දැවී ගියේ බිනුර ප්‍රනාන්දු උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි. හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහු ඒ සඳහා පන්දු 72ක් වැය කර තිබිණි.

6 වැනි කඩුල්ල ලෙස අෆිෆ් හොසේන් ලකුණු 16කට දවා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර, මෙහෙදි හසන් (0) සහ ටස්කින් අහමඩ් (0) දවා ගනිමින් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කර ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය. ඔහු ඊයේ ඕවර 10කදී නිලකුණු ඕවරයක් ද සමඟින් බංග්ලාදේශ පිතිකරුවන් 10 දෙනකු දවා ගත්තේ ලකුණු 16ක් පමණක් දෙමිනි. ඔහු කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මෙයයි.

මුළු ලකුණු 181දී 9 වැනි කඩුල්ල ලෙස ශොරිෆුල් ඉස්ලාම් දවා ගැනීමට හසරංග සමත් වෙද්දී සිය මංගල එක්දින කඩුල්ල ලෙස බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහමුදුල්ලා දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් විය. පන්දු 63කට මුහුණ දුන් මහමුදුල්ලා හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 53ක් රැස් කළේය. ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ නායක කුසල් ජනිත් පෙරේරා ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට දුන් සාර්ථක ආරම්භයත්, අර්ධ ශතක ත්‍රිත්වයකින් ගොඩනැඟූ සබඳතාත් හේතුවෙන් ලකුණු 286 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

ධනුෂ්ක ගුණතිලක සමඟ එක්ව කුසල් ජනිත් පළමු කඩුල්ලට වේගවත් ආරම්භයක් දුන්නේ පන්දු 68කින් ලකුණු 82ක් එක් කරමිනි. ගුණතිලකගේ කඩුල්ල බිඳ දමමින් එම සබඳතාව නිමා කළ ටස්කින් අහමඩ් එම ඕවරයේ අවසන් පන්දුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු රැස් කිරීමට පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවුවේය. පන්දු 33කට මුහුණ දුන් ගුණතිලක හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් රැස් කර තිබිණි. ඒ වන විට ඕවරයට ලකුණු 7 ඉක්මවූ වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවත් කඩුලු 2ක් බිඳ වැටීමත් සමඟ වේගය අඩාළ විය. අනතුරුව කුසල් යුගලය (ජනිත් – මෙන්ඩිස්) එක් මුළු ලකුණු සංඛ්‍යාව 151 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 68ක සබඳතාවකිනි. මේ තරගයේදීත් ලකුණු අතරට පිවිසීමට අසමත් වූ මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කර සිටියදී ටස්කින් අහමඩ්ගේ තෙවැනි ගොදුර බවට පත් විය.

අනතුරුව ධනංජය ද සිල්වා සමඟ එක් වූ නායක කුසල් ලකුණු සංඛ්‍යාව 216 ඉහළ දැමූ අතර, ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක පිතිකරුගේ ඉනිමට තිත තැබීමට ශොරිෆුල් ඉස්ලාම් සමත් වූයේ මහමුදුල්ලාගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හේතුවෙනි. පන්දු 122කට මුහුණ දුන් කුසල් ජනිත් ලකුණු 120ක් රැස් කළේ 6 වැනි එක්දින ශතකය ලෙසිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. කුසල් ජනිත් මෙලෙස ශතකයක් වාර්තා කළේ ඉනිම 7කට පසුවය. ඔහු අවසන් වරට බංග්ලාදේශයටම එරෙහිව 2009 වසරේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 111ක් රැස් කර තිබිණි.

මේ තරගාවලියේ පළමු වරට ඊයේ තරගයට කැඳවූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 7ක් රැස් කර සිටියදී දුවද්දී දැවී යෑමට හසු වූ අතර, ටස්කින් අහමඩ්ගේ සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගිය වනිඳු හසරංගට රැස් කළ හැකි වූයේ පන්දු 21කින් ලකුණු 18ක් පමණි. ඊයේ 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 55ක් රැස් කර තිබූ අතර, සිය මංගල එක්දින අන්තර්ජාතික ඉනිම ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් නොදැවී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 8කි.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසක් 4ක් සිදු කර තිබූ අතර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස්ට අන්තර්ජාතික එක්දින තරග වරම් හිමිකර දී තිබිණි. නිරෝෂන් දික්වැල්ල ද කණ්ඩායමට කැඳවූ අතර, දසුන් ශානක, ඉසුරු උදාන, අශේන් බණ්ඩාර සහ ලක්ෂාන් සඳකැන්ට ස්ථාන අහිමි විය. බංග්ලාදේශ පිල ලිටන් දාස් වෙනුවට මොහොමඩ් නයීම් එක් කළ අතර, දෙවැනි තරගයේදී ආබාධයකට ලක් වූ මොහොමඩ් සයිෆුඩීන් වෙනුවට එම තරගයේදී ආදේශ කළ ටස්කින් අහමඩ් මේ තරගයටත් එක් කර තිබිණි.

Related posts

Leave a Comment