ජපානයෙන් ශ්‍රී ලංකාවට නව ගිලන් රථ පරිත්‍යාගයක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සන්ජීව් ගුණසේකර මහතාගේ ඉල්ලීමක් පරිදි සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි මහතා ඉතා උසස් තත්ත්වයේ ගිලන් රථයක් (27) දින කවාගුචි නගරයේ පැවති නිල උත්සවයකදී තානාපතිවරයා වෙත භාර දී තිබේ. ගිනි නිවන උපකරණයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කැර ඇත. මෙම උත්සව අවස්ථාවට කවාගුචි නගරයේ නගරාධිපති, ප්‍රාදේශීය දේශපාලන නායකයන් හා දානපතීන් පිරිසක් සහභාගී වී ඇත. මෙම ගිලන් රථය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා වන පිරිවැය කවාගුචි නගරයේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන සයිනෙට් කෝපරේෂන් සහ සයිතමා ප්‍රාන්තයේ රොටරි සමාජය දරනු ඇත.

කවාගුචි නගරයේ නගරාධිපතිවරයාට සහ එම නගර වැසියන් හට සිය ස්තුතිය පිරිනමන ලද අතර ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ඉහළ යන කොවිඩ් වයිරස ව්‍යාප්තිය හමුවේ මෙය ඉතාමත් කාලෝචිත පරිත්‍යාගයක් බව ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කෙළේය. ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවත එන වසර 70 කට අධික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය පිළිබඳව මතක් කරමින් දෙරට ජනතාව අතර පවතින සුහදශීලී හැගීම් මෙම අද්විතීය රාජතාන්ත්‍රික සබඳතාවය තවත් ශක්තිමත් කිරීමට හේතු වන බව පැවසීය. කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි මහතා සහ සයිනෙට් කෝපරේෂන් ආයතනයේ නිලධාරීන් පවසා සිටියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ඉදිරි කටයුතු සඳහා ද තවදුරටත් සහයෝගය දෙන බවයි.

Related posts

Leave a Comment