“එක්ස්ප්‍රස් පර්ල්” නිසා අසරණ වූ ධීවරයන්ටත් 5000 දීමනාව දෙයි

රජය තීරණය කර තිබෙන්නේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව නිසා පීඩාවට පත් ධීවර ප්‍රජාවට ද රුපියල් 5000 දීමනාව පිරිනැමීමටයි. සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ජනපති හා අගමැති උපදෙස් පරිදි මෙම පියවර ගැනීමට අදාළව දැනට ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි පිරිස් පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙස ධීවර අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි.

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි, නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අගමැතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන් අතර මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද කියා සිටියේය.

රාජපක්ෂ මහතා මෙහි දී රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේ ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බවයි.

Related posts

Leave a Comment