“කැරිබියන් ප්‍රිමියර් ලීග්” තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ඉසුරු උදාන සහ වනිඳු හසරංග, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී 9 වැනි වරට පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) තරගාවලිය සදහා තෝරා ගැනේ. මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩක වෙන්දේසියේදී මේ ක්‍රීඩකයන් තෝරා ගත් අතර, ඒ අනුව පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමට එක්ව තිබේ. කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් පසුගිය වසරේ ශූරයන් වූ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉසුරු උදාන තෝරා ගෙන ඇති අතර, වනිඳු හසරංග එක්ව ඇත්තේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් එක්ව සිටින සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමටය.

මෙවර තරගාවලිය සඳහා පළමු වරට පාකිස්තාන ක්‍රීඩකයන් හයදෙනකු එක්වීම විශේෂත්වයකි. හයිඩර් අලි, උස්මාන් කදීර්, වහබ් රියාස්, අසාම් ඛාන්, මොහොමඩ් අමීර් සහ ෂොයිබ් මලික් මෙලෙස එක්ව තිබේ. අලි තලාවාස් පිලට එක්ව ඇති අතර, කදීර් සහ වහබ් සූක්ස් කණ්ඩායමටත් අසාම් සහ අමීර් ට්‍රයිඩන්ට්ස් පිලට ද එක්ව සිටිති. ෂොයිබ් මලික් එක්ව ඇත්තේ මෙහොමඩ් හෆීස් ක්‍රීඩා කරන ගයානා ඇමසන් පිලටය. මේ අතර, මෙවර තරගාවලියේ ජැමෙයිකා තලාවාස් කණ්ඩායමට එක්ව සිටින බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉඟි කර ඇත්තේ ශකීබ්ට සීපීඑල් තරගාවලියට එක්වීම සඳහා විරෝධයක් නැති බවට සහතිකය (NOC) ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි. සීපීඑල් තරගාවලියට එක්වීම පිළිබඳ කාලය පැමිණි විට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්, බංග්ලාදේශයට ඉදිරියේදී කාර්ය බහුල තරග කාලසටහනක් ඇති බැවින් ඒ සඳහා පූර්ණ ශක්තිය යෙදවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් එරට ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් පවසා තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය මඟ හැරීමට මින් පෙර තීරණය කර තිබූ ශකීබ් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අත්හැරීමට තීරණය කළේ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහාය. මෙවර සීපීඑල් තරගාවලිය ලබන අගෝස්තු 28 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, සැප්තැම්බර් මස 19 වැනිදා නිමාවට පත් වනු ඇත. කණ්ඩායම් 6ක් එක් වන තරගාවලියට තරග 33ක් ඇතුළත් අතර, මේ සියලු තරග සාන්ත කිට්ස්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

Leave a Comment