වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් අනුව කොරෝනා පාලනය කරන්න යන්න එපා – ඕස්ට්‍රේලියාවේ සිටින මහාචාර්යවරයෙක් කියන කතාව!

ලංකාවේ කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට නම් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයක් සිදු නොකළ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් මත කටයුතු නොකර විශේෂඥ වෛද්‍ය මතය අනුව අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ වෙස්ටර්න් රෝහලේ ආඝාත (ස්ට්‍රෝක්) ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසයි.

දැනට ශ‍්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීමට ඇති ප‍්‍රධානතම බාධකය වනුයේ කොරෝනා වෛරසය පිළිබඳව කිසිදු පර්යේෂණයක් සිදු නොකළ හා පර්යේෂණ වාර්තාවක් පළ නොකළ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් වෛරසය පිළිබඳ විශේෂඥයන් මෙන් බලධාරීන්ට උපදෙස් දීමට යෑමත්, වගකිවයුත්තන් විශේෂඥ වෛද්‍ය මතයට ඇහුම්කන් නොදීමත් බව පෙන්වා දෙන මහාචාර්ය විජේරත්න මහතා ශ‍්‍රී ලංකාව මෙහිදී කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කර ඇති රටක් වන ඔස්ටේ‍්‍රලියාව ආදර්ශයට ගත යුතු බව අවධාරණය කරයි.

‘‘මේ වන විට ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් මෙල්බර්න් නගරය පිහිටි ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තය සතියකට අගුලූ දමා තිබෙනවා. මෙම අගුලූ දැමීමේ ක‍්‍රියාදාමයේදී ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරුන් ක‍්‍රියා කරන ආකාරයත් ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ක‍්‍රියා කරන ආකාරයත් අතර පැහැදිලි වෙනසක් දකිනවා. රටවල් දෙකේ දේශපාලන නායකයන් හැසිරෙන ආකාරයත් වෙනස්. ඔස්ටේ‍්‍රලියාව කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නේ විශේෂඥ වෛද්‍ය මතයට අනුවයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා කොරෝනා වෛරසය සම්බන්ධ විශේෂඥයන් ලෙස හැසිරෙමින් බලධාරීන්ට උපදෙස් දීමට යන්නේ් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයනුයි. වෘත්තීය සමිති නායකයන්ගේ මෙම හැසිරීම හේතුවෙන් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ශක්තිමත් ලෙස එකමුතුව සිටිය යුතු සෞඛ්‍ය සේවකයන් අතර මේ වන විට විශාල බෙදීමක් දක්නට ලැබෙනවා. කොරෝනා වසංගතය පාලනයට මෙම වෘත්තීය සමිති නායකයන්ගෙන් විශාල හානියක් සිදු වනවා. ඔස්ටේ‍්‍රලියාවේ මෙවැනි තත්ත්වයකට ඉඩක් නැහැ. දැන්වත් ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලින් ආදර්ශයක් ගෙන ශක්තිමත් අයුරින් කොරෝනා වසංගතය පාලනය කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළ යුතුයි’’ යැයි මහාචාර්ය විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Leave a Comment