“රිෂාඩ්” සහ “රියාජ්ගේ” පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා සිටින තමන් වහාම මුදා හැරීමට නියෝග කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. විජිත් මලල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.

පෙත්සම්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් යම් නිර්දේශයන් කරන ලද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කර ඇති බැවින් මේ පෙත්සම් විභාගයට සහභාගි වීමට අකමැති බව විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී සඳහන් කර ඇත. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය දන්වා ඇත්තේ මේ පෙත්සම් දෙක සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කරන බවය. එම විරෝධතා ජූනි මස 1වැනිදාට පෙර ගොනු කරන බවද ඇය සඳහන් කර තිබේ.

එසේම මේ පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වයෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය බවද ඇය සඳහන් කර තිබේ. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ නීතිඥ පුලස්ති හේවාමාන්න යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ හදිසි කරුණක් සේ සලකා මේ පෙත්සම් කඩිනමින් සලකා බලන ලෙසය. කරුණු සලකා බැලූ අධිකරණය සීමිත විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයාට අවසර දුන් අතර, එහි පිටපත් පෙත්සම්කාර පාර්ශ්වයන්ට දෙන ලෙස නියම කළේය. අවශ්‍ය නම් ප්‍රති විරෝධතා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදි. මේ පෙත්සම් ජූනි මස 4වැනිදා සලකා බැලීමට නියම කර තිබේ.

Related posts

Leave a Comment