නැව නිසා ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනමින් සහන දෙන්න – අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනමින් සහන සලසන ලෙසත්, සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග සොයා බැලීමට පෙරේදා (29) උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අගමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්ව එම මුහුදු කලාපයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීමෙන් පීඩාවට පත්ව සිටින ධීවරයන් ඇතුළු එම ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සලසන්නැයි අගමැතිවරයා ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාට උපදෙස් දුන්නේය.

සමුද්‍රීය දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අංශ ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට අගමැතිවරයාගේ ප‍්‍රණාමය හිමිවිය.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් දහසකට වැඩි පිරිසක් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහඳපුර මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරු කිහිපදෙනෙක් සහභාගි වූහ.

Related posts

Leave a Comment