සණස බැංකුවේ මුදල් වංචා කළ අයෙක් වසර 6කට පසු රිමාන්ඩ්

මහරගම වත්තේගෙදර සණස බැංකුවෙන් සාවද්‍ය ලෙස මුදල් වංචාවක යෙදුණු එකල බැංකුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඉණිවැල්ල හේවගේ ප්‍රියන්ත නිශාන්ත කුමාර (48) නමැත්තා වසර හයක කාලයකට පසුව මොනරාගල බිබිල මැදගම ග්‍රාමයේදී පොලිස් අපරාධ විමර්ශන කණ්ඩායමක් අත්තඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ජූනි 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් නදිරා බෝගහදෙණිය මහත්මිය නියෝග කැර ඇත. පුවත්පත් දැන්වීම් පළකරමින් විශාල පොලී අනුපාතයක් ලබා දෙන බව කියමින් ගනුදෙනු කරුවන් පොළබවා මෙම සණස බැංකු ශාඛාවේ මුදල් තැන්පත් කරවා ගෙන ඇත. සැකකරු 2011 සිට 2015 දක්වා සේවය කරන කාලයේ ගනුදෙනු කරුවන්ගේන් ගන්නා මුදල් සණස දිස්ත්‍රික් සංගමයේ තැන්පත් කරන බව අඟවමින් ඔහු පවත්වා ගෙන ගිය නිපුණ ලංකා වාහන සේල් ආයතනයට යොදාවා සුඛෝපභෝගි ජිවිතයක් ගත කර තිබෙන බව අනාවරණය වී ඇත.

කොළඹ මූල්‍ය අපරාධ ඒකකයේ පොලිස් සැරයන් සුරංග හේරත් මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අනාවරණය කැර ඇති පරිදි මෙම වංචාව හෙළිදරව් වීමෙන් පසු මෙම පුද්ගලයා පසුගිය වසර හයක කාලය තුළ අම්පාර මංගලගම සහ අත්අඩංගුවට ගත් බිබිලේ මැදගම ප්‍රදේශවල කුලී පදනම මත තම බිරිය සහ දරුවන් තිදෙනා සමඟ සැඟව සිට ඇත.

Related posts

Leave a Comment