ස්පුට්නික් දෙවැනි මාත්‍රාව දිය යුතු දැයි තාක්ෂණික කමිටුව අධ්‍යයනයක් කරමින් සිටිනවා – කෙහෙලිය රඹුක්වැල්ල

ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව දීමෙන් පසු දෙවන මාත්‍රාවක් දිය යුතුද යන්න සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව මේ වන විට අධ්‍යයනයක් කරමින් සිටින බවයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් දීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (30) එක් වෙමිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජන අක්මීමන, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහඇල්ල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය,

“ඉහළ ප්‍රතිශක්තීකරණ ශක්තියක් පළමු මාත්‍රාවෙන්ම ලැබෙන නිසා දෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ ද යන්න වෛද්‍යවරුන් විසින් මේ වන විට සලකා බලමින් සිටිනවා. පළාත් කොවිඩ් පාලන කාර්ය සාධන බළකායේ නියමයන් අනුව දින තුනක් පුරා මේ වැඩසටහන කුණ්ඩසාලේ කොට්ඨාසයේ මධ්‍යස්ථාන 06ක දී ක්‍රියාත්මක කරනවා. කුණ්ඩසාලේ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් පරිශ්‍රයේ දී ස්පුට්නික් එන්නත දීම සිදු කළා. සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ඉතා ක්‍රමවත් ලෙස මේ වැඩපිළිවෙළ සංවිධාන කර තිබුණා. කොවිඩ් අවදානම ඉහළින්ම ඇති කුණ්ඩසාලේ ආසනයට ප්‍රථමයෙන් එන්නත් දීම සිදු කරනවා. සෙසු ප්‍රදේශවලට එන්නත් දීම ඉදිරියේ දී සිදු කරනවා. කොවිඩ් අවදානම දැඩිව පැවති බස්නාහිර පළාතට එන්නත්කරණයේ දී ප්‍රමුඛස්ථානය දුන්නා. මේ වන විට බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තියේ පාලනයක් සිදුව තිබෙනවා. කුණ්ඩසාලේ ආයෝජන කලාපයේ 12,000ක පමණ පිරිසක් සේවය කරනවා. ඔවුන් සියලු දෙනාට එන්නත දීමට පියවර ගන්නවා.”

Related posts

Leave a Comment