නැවක ගින්නක්, ඉගැන්වූ පාඩමක්

අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්ෂක අංශ සතියක් තිස්සේ දිවා රාත්‍රී දරන ලද පරිශ්‍රමයකින් පසු බටහිර වෙරළ තීරයට ආසන්නව ගිනිගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දැමීමට හැකි විය. ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට අයත් වයිභව් සහ වජ්‍ර යාත්‍රා 2ක් ද, ගුවන් යානයක් ද ඊට එක් විය. අනතුරට පත් නෞකාවේ සිටි නාවිකයන් ගලවා ගැනීමට ද හැකි විය. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය අද දින අදාළ සෑම අංශයක්ම දැඩි පරිශ්‍රමයක යෙදී සිටින්නේ නෞකාව අනතුරට පත් වීමෙන් වෙරළ තීරයට සහ සමුද්‍රීය පරිසරයට සිදු වීමට ඉඩ ඇති බරපතළ පාරිසරික හානිය වළක්වා ගැනීම වෙනුවෙනි.

  • දරුණුම විනාශය

නයිට්‍රික් අම්ලය ටොන් 25ක් සහ තවත් රසායනික ද්‍රව්‍ය, විලවුන් ආදිය රැගත් බහාලුම් 1485ක් පමණ මෙම නෞකාවේ ඇති බව වාර්තා විය. ගින්නත් සමඟ එම ඇතැම් බහාලුම්වලට හානි සිදුව ඇති බවත් පෙනෙන්නට තිබූ අතර කිහිපයක් වෙරළ තීරයට ගසාගෙන විත් තිබිණි. නෞකාවේ සිට එලෙස වෙරළට ගසාගෙන එන ද්‍රව්‍ය එක්රැස් නොකරන ලෙසට මහජනතාව දැනුම්වත් කර තිබුණ ද වෙරළාසන්න ප්‍රදේශවල ඇතැම් පිරිස් ඒවා නිවෙස්වලට රැගෙන යන අයුරු දිස් විය. එමඟින් ඇති විය හැකි දැඩි අනර්ථකාරී බලපෑම් පිළිබඳ ඔවුන් අල්පමාත්‍ර වශයෙන් හෝ සැලකිල්ලක් දැක් වූ බව පෙනෙන්නට නොතිබිණි. එලෙස වෙරළට රැස් වූ අයට සුනාමි ව්‍යසනය අවස්ථාවේ මුලදීම ඇති වූ තත්ත්වය සිහිපත් විය යුතුව තිබිණි. මෙහිදී නම් මුහුදට බිලි වීමේ අවදානමක් නොතිබුණ ද මෙවැන්නක අනර්ථකාරී මෙන්ම දරුණු විය හැකි බලපෑම් ගැන ඔවුන් කල්පනා කළ යුතුව තිබිණි. කෙසේ වූව ද ඇතැමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. මෙහිදී පළමුවෙන්ම සඳහන් කළ යුතු වන්නේ දැන්වත් මෙය පාඩමක් කරගත යුතු බවය. ගිනි ගත් නෞකාවෙන් තෙල් හෝ රසායන ද්‍රව්‍ය කාන්දුවක් හෝ පිපිරීමක් හේතුවෙන් එවැනි ද්‍රව්‍ය සාගරයට එකතු විණි නම් ඇති විය හැකිව තිබූ තත්ත්වය අතිශයින්ම බරපතළ හා කනගාටුදායකය. දැනටමත් සිදුව ඇති බලපෑම ද සැලකිල්ලට ගන්නා විට මෙම සමුද්‍රීය ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම විනාශය මෙය විය හැකිය. ගින්න පවතිද්දි මෙන්ම එය නිවා දැමූ පසුවද අහසට එක් වූ කළු දුමාරය ද හානිදායක පාරිසරික බලපෑමක් ඇති කළේය. රසායනික ද්‍රව්‍ය ආදිය ගිනි ගැනීමත් සමඟ වායුගෝලයට මුදා හැරුණු විෂ සහිත දෑ හේතුවෙන් අම්ල වැසි අවදානමක් ගැන ද මත පළ වී තිබේ. එය අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.

  • අම්ල වැසි අවදානම

නැවේ පිපිරීමක් වැනි තත්ත්වයක් හේතුවෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති වුවහොත් ඒවා මීගමුව වෙරළ තීරයට බලපෑම් ඇති කිරීම වැළැක්වීම සඳහා සූදානමින් සිටින බව සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර වාර්තාකරුවන් හමුවේ පැවසුවාය. මීගමුව වෙරළ තීරය යනු ආකර්ෂණීය සංචාරක කලාපයක් ද වන පසුබිමක එයට හානියක් නොවන අයුරින් වගබලා ගැනීම අතිශයින්ම වැදගත්ය. වාර්තා වූ පරිදි නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 325ක් පමණ තිබී ඇත. යම් හෙයකින් එම තෙල් කාන්දු වූයේ නම් සංවේදී පරිසර කලාපයක් වන මීගමුව කලපුවට වන හානිය ද බරපතළය. මේ වන විට එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කර ඇත. දරුණු සමුද්‍ර දූෂ්‍ය කාරකයක් වන මයික්‍රෝ ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ද මෙම නෞකාවේ තිබූ බව පැවසෙන අතර, පබළු වැනි බුබුළු මසුන්ගේ කරමලවල තැන්පත් වී ඇති අයුරු ද දිස් විය. ඒ සමඟ මෙම කලාපයේ මත්ස්‍යයන් ද ඇතුළුව සමුදුරු ජීවීන්ට විය හැකි බලපෑම ද දැඩි ලෙස අවධානයට ලක්ව තිබේ. මේ ආශ්‍රිත වෙරළ තීරයන්ට මිය ගිය මත්ස්‍යයන් ගොඩ ගසා ඇති අයුරු ද වාර්තා විය. මෙම අනතුර ධීවර කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇති ද යන කාරණය ද අවධානයට ලක්ව ඇත. දැනට අදාළ මුහුදු කලාපයේ ධීවර ක්‍රියාකාරකම් සඳහා ඉඩ නොලැබේ.

නෞකාවේ ගින්නක් පිළිබඳ මුලින්ම වාර්තා වූයේ ඉකුත් 20 වැනිදාය. පසු දිනය වන විට එය නිවා දැමීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකිවී තිබිණි. එසේ වූව ද, ඊට දින 4කට පසුව අයහපත් කාලගුණික තත්ත්වය මැද නෞකාවේ පිපිරීමක් සහ ඒ සමඟ හටගත් ගින්නක් යළි වාර්තා විය. එහි ප්‍රවාහනය කරමින් තිබූ බහාලුම් 10ක් පමණ මුහුදට වැටී ඇතැයි ද පැවසිණි එලෙස හට ගත් ගින්න නිවා දැමීමට දින කිහිපයක් ගත විය.

  • වෙරළ තීරය

නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යෑමට නම් පළමුව එහි තත්ත්වය පරීක්ෂා කිරීමට සිදු වේ. ගින්න නිවා දැමූවද එහි අධික උණුසුමක් පැවැතීම හේතුවෙන් ඒ සඳහා නෞකාවට පිවිසීමට ප්‍රමාද කිරීමට සිදුව ඇත. එතෙක් එහි පරීක්ෂාවට ලක් කෙරෙන්නේ සෙසු යාත්‍රාවල සිට සහ ගුවනින් ගන්නා දර්ශන මඟිනි. ඒ ඔස්සේ යම් යම් අනුමානයන් කිරීමට හැකි වී තිබේ. ඒ අනුව ඇතැම් පියවර ද ගැනීමට හැකි විය.

නෞකාවක් අනතුරට ලක්වීමේදී එහි බලපෑම් කිහිප ආකාරයකට සිදු වේ. එය යුද හෝ මගී නෞකාවක් වුව ද, භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූව ද මගීන් සහ කාර්යමණ්ඩලවල ජීවිත බේරා ගැනීම කළ යුතුය. ඉන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ ඉවත් කර ගැනීම සහ නෞකාව පිපිරීමකට ලක් වීමෙන් හෝ මුහුදුබත් වීමෙන් විය හැකි හානි වළක්වා ගැනීමට ද සිදු වේ. ඉකුත් සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමක් හටගන් ඉන්ධන ප්‍රවාහන නෞකාව පිපිරීමක් සිදු නොවන අයුරින් එම ගින්න නිවා දැමීමට බලවත් පරිශ්‍රමයකින් පසු හැකි විය. යම් හෙයකින් ඉන්ධන කාන්දුවක් හෝ එය පිපිරීමට ලක් වී එම ඉන්ධන සාගරයට එකතු වුණි නම් දරුණු පාරිසරික ව්‍යසනයක් සිදුවිය හැකිව තිබිණි. එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේදී ද දැනට පිපිරීමක් ඇති නොවන අයුරින් තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී ඇත. දැනටමත් මුහුදට එක්ව ඇති එහි රැගෙන යමින් පැවැති පාරිසරික වශයෙන් තර්ජනාත්මක හා විනාශකාරී බලපෑම් ඇති කිරීමට හේතුවන ද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරක්ෂක හමුදාවල සහයෙන් දැනට දියත්ව ඇත. ඊට සති ගණනාවක් වූව ද ගත විය හැකිය. ගැඹුරු මුහුදේදී සිදු වන අනතුරකටත් වඩා වෙරළාසන්න කලාපයකදී සිදුවන පාරිසරික බලපෑම් බරපතළය. ඒ, වෙරළ තීර දූෂණයට ලක්වීම උග්‍ර විය හැකි බැවිනි. නෞකා අනතුරකදී විය හැකි ආර්ථික බලපෑම් ද තවත් කාරණයකි. එය අනතුරට ලක්වීම නිසා අදාළ ‍සමාගම්වලට සිදුවන ආර්ථිකමය අලාභ හානි මෙන්ම අනතුර හේතුවෙන් ඇති වන අතුරු බලපෑම් නිසා සිදු වන ආර්ථික පාඩු ද ඊට අයත්ය.

  • මයික්‍රො ප්ලාස්ටික්

සමුද්‍ර ජීවීන්ට සහ සමුද්‍රීය පරිසර පද්ධතියට මෙවැනි අනතුරකින් සිදු විය හැකි හානි බරපතළය. මසුන් ආදී මුහුදු ජීවින් විශාල ලෙස මිය යා හැකිය. කොරල් වැනි සංවේදී පරිසර පද්ධති විනාශ වී යා හැකිය. සමුද්‍රීය දූෂණය වළක්වා ගැනීමේදී අවධානයට ලක් වන ප්‍රධාන කාරණයක් වන්නේ මයික්‍රො ප්ලාස්ටික් සාගරයට එක්වීම වළක්වා ගැනීමය. කාලයක් තිස්සේ බරපතළ ලෙස සාගරය දූෂණයට ලක්වීම හේතුවෙන් මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානම විද්‍යාඥයන් සහ පරිසරවේදීන් පෙන්වා දී ඇති කාරණයකි. එබැවින් ප්ලාස්ටික්, පොලිතීන් ආදී වසර සිය ගණනක් වූව ද දිරීමට ලක් නොවී පවතින අපද්‍රව්‍ය සාගරයට එක්වීම වළක්වා ගැනීමට ප්‍රයත්න දැරීම බොහෝ විට සිදු වේ. මෙවැනි දෑ විධිමත් ලෙස බැහැර කිරීමට පමණක් වග බලාගත යුතු වන්නේ අවිධිමත් ලෙස ගොඩබිමේදී බැහැර කරන ද්‍රව්‍ය අවසානයේදී සමුදුරු ජීවය හා එම පරිසරය විනාශ කරන බව පැහැදිලි වී ඇති බැවිනි. සමුදුරෙන් වට වූ දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ද මේ කාරණය ගැන විශේෂයෙන් සැලකිලිමත්ය. එවැනි විනාශයක් හේතුවෙන් ඇති වන බලපෑම් ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදියට බලපාන්නේ ආර්ථික වශයෙන් හානිදායි බලපෑම් ඇති කරමිනි. ලොව රමණීය වෙරළ තීරයන්ට උරුමකම් කියන රටක් ලෙස ශ්‍රී ලංකාවට එම වෙරළ තීර රැක ගැනීම යනු අතිශයින්ම සංවේදී කාරණයකි.

දකුණු ආසියානු කලාපීය සමුදුරු කලාපය රැකගැනීම වෙනුවෙන් දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහන (SACEP) ද ක්‍රියාත්මකය. මෙම නෞකාව අනතුරට ලක් වූ විට ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව ශ්‍රී ලංකාවත් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට එයද හේතු විය. ගින්න නිවීමට මෙන්ම, ගින්න නිවා දැමීමෙන් නෞකාව සිසිල් කිරීම සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක යෙදී සිටින්නේ එම සහයෝගය ද ඇතිවය. සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු විය හැකි හානි අඩුකර ගැනීම වෙනුවෙන් අදාළ සෙසු අංශවල ද සහාය ලබා ගනිමින් පූරණ ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කර තිබිණි.

  • නයිට්‍රික් අම්ල කාන්දුව

මෙම නෞකාව කොළඹ වරාය කරා ළඟා වීමට පෙර ඉන්දියාවේ හෂිරා වරාය සහ කටාර් රාජ්‍යයේ හමාඩ් වරායට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පළ වූ වාර්තා නිවැරැදි නොවන බව අදාළ සමාගම නිවේදනය කර ඇත. කොළඹ වරායට පැමිණීම සැලසුම් කළ කාර්යයක් බව ද ඊට පෙර අදාළ වරාය ‍දෙකේදීම භාණ්ඩ ගොඩබෑම් කටයුතු සිදු කළ බව ද එහි දන්වා තිබේ. ගැටලුව මතු වී ඇත්තේ නයිට්‍රික් අම්ල කාන්දුවක් සහිත බහාලුමක් ගොඩබෑම සම්බන්ධයෙන් බව ද ඉන් පෙන්වා දී තිබිණි. කෙසේ වුවද මෙහි දී මතු වන ප්‍රශ්නයක් නම් නෞකාවේ තිබූ ද්‍රව්‍ය හා එහි පැවැති තත්ත්වය පිළිබඳ නිසියාකාර දැනුම්වත් කර තිබුණේ ද යන්නය.

මේ පිළිබඳ විමර්ශන සිදු වන බැවින් වූයේ කුමක් දැයි පසුව පැහැදිලි වනු ඇත. දැනට වඩාත් වැදගත් කාරණය වන්නේ මෙම අනතුර නිසා සිදුවිය හැකි හානි අවම කර ගැනීමය. එසේම මෙවැනි අනතුරකින් විය හැකි හානි අවම කර ගැනීම සඳහා යෙදීමට හැකි ඉදිරි වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග ගැන ද මෙහිදී බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. අලුතෙන්ම ගත යුතු ක්‍රියා මාර්ග හෝ තව දුරටත් ශක්තිමත් කළ යුතු ක්‍රියා මාර්ග, නීති රීති ආදිය පවතින්නේ දැයි එහිදී පෙනී යනු ඇත. එවැනි පියවර අතිශයින්ම වැදගත් වනු ඇත්තේ නෞකා අනතුරු සිදු නොවිය හැකි දෙයක් නොවන බැවිනි. නාවික ඉතිහාසයේ යුද ගැටුම් අතරතුරදී මෙන්ම ගිනි ගැනීම් ද ඇතුළුව මෙවැනි නොයෙක් ආපදාවන්ට ලක්වීම ආදිය හේතුවෙන් ද සිදු වී ඇති නෞකා අනතුරු ගණනය කිරීමට අසීරු තරම් විශාල සංඛ්‍යාවකි.

Related posts

Leave a Comment