“ක්‍රීඩකයින්ට Economy Class, නිලධාරීන්ට Business Class” – නිලධාරීන්ට සැප දෙන ඔලිම්පික් කමිටුව ක්‍රීඩකයින්ට සලකන්නේ මෙහෙමද?

ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවන මෙරට කණ්ඩායම සම්බන්ධයෙන් අප හෙළි කල පුවත අසත්‍ය බවත් එහි සත්‍ය තත්වය යැයි කියමින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට ඇත. එහි කියවෙන පරිදි ක්‍රීඩකයින් 8ක් සහ නිලධාරීන් 15ක් ටෝකියෝ සංචාරය සඳහා සහභාගී වන බවට ඔවුන් සඳහන් කරන අතර මිලියන 22ක මුදල සත්‍ය බවත් එය සකස් වන අකාරය ගැනත් දක්වා ඇත.

ඔලිම්පික් කමිටුව මෙසේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඇත්ත යට යවන්නට ගන්නා උත්සාහය අප තරයේ හෙලා දකින අතර ඔවුන් 58 දෙනකුට විදේශගතවීම සඳහා අවසර ඉල්ලමින් නිකුත් කල ලිපිය සමගින් අදාළ සියලු විස්තර මේ වනවිට අප සතුව ඇත. තොරතුරු දැනගැනීමේ පනත අනුව ඕනෑම පුරවැසියකුට අදාළ ලේඛන ලබාගැනීමට හැකියාව ඇති බවද අප මතක් කර සිටිමු.

මේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ නිලධාරීන් සඳහා විනෝද චාරිකා යාමට පසුගිය කාලයේ මෙන් තමන් අවසර නොදෙන බවත් ජාතික ක්‍රීඩා කවුන්සිලය හරහා අවශ්‍ය පියවර ගනු ඇති බවත්ය.

සියල්ල රටට හෙළි කිරීමට අප කටයුතු කිරීමෙන් පසුව ඔලිම්පික් කමිටුව  මාධ්‍ය හමු සහ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මොනවා කියන්නට උත්සාහ කලත් ඔවුන් කලින් විනෝද චාරිකා යාමට ඉල්ලු ඉල්ලීම් අසත්‍ය නොවන බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අපට හැකි බවත් ඔලිම්පික් තරඟයේදී තරඟවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් යානයේ  economy class වල ගෙනයද්දී නිලධාරීන්ට සුපිරි සැප සමගින් business class යන්නට සදාචාරාත්මක අයිතියක් ඇතිද යන්න අප ප්‍රශ්න කරමු.

ඔලිම්පික් කමිටුව මෙසේ රටේ මහජන මුදල් කාබාසිනියා කරමින් ඔලිම්පික් යනවාය කියා විනෝද චාරිකා යමින් ලක්ෂ ගණන් තම සාක්කුවේ දමාගැනීමේ උත්සාහය නවත්වනතුරු සියලු කරුණු සාක්ෂි සතිතව ජනතාව වෙත හෙළි කිරීමට අප සුදානම් බවත් විෂයභාර අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වහාම මේ සම්බන්ධයෙන් සොයා බලා රටට සහ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කිරීම කලයුතු බවත් අප දන්වා සිටිමු.

ඔලිම්පික් කමිටුව නිකුත්කළ මාධ්‍ය නිවේදනය…

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත කල ප්‍රකාශය…

Related posts

Leave a Comment