බොරු සේවා කැඳවීම් ලිපි පෙන්වා කොළඹට ආ පුද්ගලයන්ට වැඩ වරදී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ සේවයට කැඳවීමේ ලිපි පෙන්වා කොළඹ නගරයට පැමිණි අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයන් තම කාර්යාල තුළ රාජකාරියේ යෙදී සිටින්නේ දැයි විශේෂ සොයා බැලීමක් සිදු කරනු ලබන බවයි. කොළඹ නගරයට ඊයේ (31) දිනයේදී අත්‍යවශ්‍ය සේවාවල නියුතු බව පවසමින් බොහෝ දෙනකු සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීන්ගේ ලිපිය සහිතව පැමිණ තිබු බවට හෙළිවී තිබෙන බව ඔහු පවසා සිටියේය.

එලෙස පැමිණි පුද්ගලයන් සතුව තිබු ලිපි නිකුත් කිරීම අක්‍රමවත්ව සිදුකර ඇති බවට පෙනී ගොස් ඇතැයි රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් පෙන්වා දී ඇත. ඒ අනුව මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පිහිටි පොලිස් මාර්ග බාධකවලදී අත්‍යවශ්‍ය සේවා බවට හඳුන්වා දෙමින් පැමිණි පුද්ගලයන් අතරින් 1000කට ආසන්න පිරිසක් සතුව තිබු සේවයට කැඳවීමේ ලිපිවල ජායාරූප පොලිසිය අහඹු ලෙස මඟින් ලබාගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ යම් හෙයකින් අදාළ පුද්ගලයා රාජකාරියට කැඳවීමක් සිදුකර නොමැති බවට අනාවරණය වුවහොත් හෝ ඔහු සේවයේ යෙදී සිටියේ නැත්නම් අදාළ ලිපිය නිකුත් කළ තැනත්තා කුඨ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ මෙන්ම සේවයට යන බව පවසා අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවට අදාළ සේවකයාට නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

Leave a Comment