ශ්‍රී ලංකාවට වසර 8කට පසු ආසියානු බොක්සිං පදක්කමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගියදා පැවැති ආසියානු බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරී සමත් වූවාය. කිලෝග්‍රෑම් 51 ෆ්ලයිවේට් බර පන්තියෙන් තරග වැදුණු නදීකා තෙවැනි ස්ථානය දිනා ගත් අතර, ලෝකඩ පදක්කමකට හිමිකම් කීවේ මීට පෙර දෙවතාවක්ම ලෝක ශූරතා දිනූ කසකස්තානයේ නාසිම් කයිසාබේ හමුවේ පරාජයට පත් වීමෙනි. අවසන් තරගයේදී ලෝක කාන්තා බොක්සිං වළල්ලේ සුපිරි ක්‍රීඩිකා ඉන්දියාවේ මේරි කොම් පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ද එම කසකස්තාන ක්‍රීඩිකාවය.

අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු බොක්සිං වළල්ලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ 2012 වසරේදීය. එවර ශිරෝමාලා වීරරත්න ශ්‍රී ලංකාවට එම ගෞරවය ලබා දීමට සමත් වූවාය. ඩුබායි නුවර පැවැති මේ තරගාවලියට රටවල් 27ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න පිරිසක් එක් වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් තිදෙනකු බැගින් තරගාවලියට එක් වූහ.

Related posts

Leave a Comment