මගේ කණ්ඩායම ඡන්ද 140ක් ගන්නවා – සභාපති අපේක්ෂක මනිල්

මේ මස 7 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ එළිමහන් වේදිකාවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කල්ගිය පාපන්දු නිලවරණය සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වෙන අතර, රහස් ඡන්දයෙන් නිලධාරීන් තෝරා ගැනීමට නියමිතය. පාපන්දු මුල්පුටු සටනට තරග කරන වත්මන් ලේකම් යූ. එල්. ජස්වර් මහතා මෙයට පෙර පැවැසූවේ මෙම නිලවරණයේදී ඡන්ද 115ක් ලබා ගන්නා බවත්, තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථීර බවත්ය. එයට පිළිතුරු දෙන සභාපති තනතුරට තරග කරන වත්මන් පාපන්දු වෛද්‍ය කමිටු සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඡන්ද ගැන කලින් අනාවැකි කීමට බලයක් තමන්ට නොමැති වුවද, පාපන්දු ලීග් පොරොන්දු වී ඇති පරිදි ඡන්ද 140කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනු ඇති බව තම විශ්වාසය බවය.

“මගේ තාත්තා (නීතිඥ මනිලාල් ප්‍රනාන්දු) පාපන්දු දියුණුවට විශාල සේවයක් කළ කෙනෙක්. එහෙත් ඔහුට අද මඩ ගහනවා. පාපන්දුවට යමක් කළා කියන අභිමානය හිතට දැනෙන නිසා මගේ තාත්තාට හොඳට නින්ද යනවා. මටත් කවදා හරි පාපන්දුවට යමක් කළා කියලා සැනසිල්ලේ නින්දට යන්න පුළුවන් නම් ඒකයි එකම බලාපොරොත්තුව. පහත් විදිහට ඡන්ද කරන්න මා කැමැති නෑ. බොරු පොරොන්දු දීලා කරන්න බැරි දේ කියලා දිනන්න මා සූදානම් නෑ. මේක දේශපාලනය නොවෙයි” මනිල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ නිලවරණයේදී තමන් කිසි විටෙකත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හෝ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් මඟින් වැරදි ප්‍රචාර නොයවන බවත්, කිසිවකුට හෝ මඩ ගැසීම් නොකරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

“මේක ක්‍රීඩාවට යමක් කරන්න එන නිලවරණයක්. මිනිස්සුන්ට නැති චෝදනා එල්ල කරලා, ආත්ම ගෞරවය නැති කරලා, ඡන්ද ගන්න කරන උත්සහය පාපන්දු ලීග් හෙළා දැකිය යුතුයි. මා මේ නිලවරණයට නාම යෝජනා දුන්නේ පහත් දේවල් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෙහෙම ගිහින් පාපන්දු දියුණු කරන්නේ කොහොමද? මා පාපන්දු පරිපාලනයට එනවිට මට මුදල්වලින් පාඩු වෙනවා. රාජකාරී පාඩු ඇති වෙනවා. මා ඒ සියල්ල කැප කරලයි පාපන්දුව හදන්න එන්නේ. එහෙත් ඇතැම් අයට පුදුම උවමනාවක් තියෙන්නේ පාපන්දු පුටුවලට එන්න. ඇයි ඒ?. මේක නැති වුණොත් ලොකු පාඩුවක් තියෙන බව ඔවුන් හිතනවා. මේ වගේ පාපන්දු නිලවරණයකට කාගෙන් හරි සල්ලි අරන් විශාල මුදලක් වැය කරලා එන්නේ ඇයි? නැවැත ඒ සල්ලි උපයා ගන්නයි” ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නාමයෝජනා දුන් තැනට වඩා දැන් තත්ත්වය හොඳ බවත් ඇතැම් ලීග් යම් යම් බලපෑම් එල්ල විය හැකි නිසා ස්වාධීනව කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය. “කෝප් කමිටුවේ කතා වුණ දේවල් සමාජ මාධ්‍යවල දාලා මගේ තාත්තාට මඩ ගහලා ඡන්ද ව්‍යාපාරය අඩාළ කරන්න ඔවුන් හිතුවා. නමුත් එහෙම බලපෑමක් වෙලා නෑ කියලා ලීග් සමග කතා කරද්දී දැනෙනවා. ඔවුන් ඇත්ත තත්ත්වය දන්නවා. ක්‍රීඩා අමාත්‍යාංශය මෑත කාලයේ සිදු වූ හොරකම් පිළිබඳ සොයනවා. මිලියන හතළිස් ගානක් හොරකම් කරලා තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ”

“මගේ තේමාව වුණේ පාපන්දු පළමු තැන කියන එකයි. මගේ ප්‍රතිවාදියා කියන්නේ ඒක සිහිනයක් කියලයි. හැබැයි මා ඒ ප්‍රතිපත්ති විවේචනයට විරුද්ධ නෑ. මඩ ගහන්නේ නැතිව එහෙම විවේචනයක් කරනවා නම් හොඳයි. නමුත් මේක ධනාත්මකව සිතිය යුතු කරුණක්. පාපන්දුව පළමු තැනට ගේන්න බෑ කියන කෙනෙක්ට කවදාවත් ඉලක්කයකට ළඟා වෙන්න බෑ. මා ජාතික පාපන්දු පිලේ දරුවන්ට කතා කරනකොට කියන්නේ ග්‍රවුන්ඩ් එකට බහිද්දී හිතුවොත් දිනන්න බෑ කියලා, ප්‍රතිවාදියා පරද්දන්න බෑ කියලා, එහෙනම් ඒක කරන්නම බෑනේ. අපට පුළුවන් කියා හිතලා වැඩේට බහින්න ඕනෑ. ක්‍රිකට්වලට තියන තැන පාපන්දුවට පරිවර්තනය කරන්නයි මට අවශ්‍ය වෙන්නේ”

“මගේ කණ්ඩායමේ ඉන්නේ අලුත් අය. ගෆාර්, සායිෆ් යූසුප්, ඩේවිඩ්සන්, රත්නපුරේ කංචන ජයරත්න, මාතර ඉන්දික, ඔඩ්ඩමාවඩි තවුෆික්, සුදාකර් වගේ අය අලුත් මුහුණු. අනෙක් පැත්තේ ඉන්නේ පාපන්දුවේ අවුරුදු ගානක් ඉඳලා විශ්‍රාම ගිය හිටපු සභාපතිලා, උප සභාපතිලා, හිටපු ලේකම්ලා, හිටපු විධායක සභිකයෝ කිහිප දෙනෙක්. ඒ නිසා කණ්ඩායම් දෙක සම්පූර්ණයෙන් ම වෙනස්”

මනිල් ප්‍රනාන්දු මහතා මෙයට වසර ගණනාවකට පෙර පාපන්දු පරිපාලනයට මුලින්ම පැමිණ ඇත්තේ ජාතික පාපන්දු කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙසය. “මට භාර දුන්න පළමු වැඩේ හරියටම කළා. ඒ වෙනුවෙන් පාපන්දු සම්මේලනයෙන් සත පහක්වත් ගත්තේ නෑ. අනතුරුව මා විධායක කමිටුවට ඇවිත් තරුණ පාපන්දු සංවර්ධනය භාර ගත්තා. විධායක සභාවේ ගැටිලා තරුණ පාපන්දුව වෙනුවෙන් මා කරන්න පුළුවන් දේ කළා. දැන් තියන තත්ත්වයයි එදා තත්ත්වයයි ගොඩක් වෙනස්. එදා ඩොලර් දෙලක්ෂ පනස් දාහයි ජාත්‍යන්තරයෙන් මුදල් ලැබුණේ. එකෙන් තමයි ඔක්කොම කළේ. එදා තරුණ පාපන්දු සංවර්ධනයට රුපියල් මිලියන 6ක් 7ක් වෙන් වුණේ. පරිපාලනයට වියදම් කළේ එදා මිලියන 3ක් 4ක්. දැන් පරිපාලනයට වැය කරනවා මිලියන 70ක් විතර. තරුණ පාපන්දු සංවර්ධනයට මා එදා කෑ ගහලා ගත්ත තරම්වත් අද වියදම් කරන්නේ නෑ. තාක්ෂණික පැත්තට ලොකු බජට් තියෙනවා මොනවාද වෙන්නේ කියලා දන්නේ නෑ. මගේ කාලේ මා කරන්න පුළුවන් උපරිමය කළා. එයට වඩා කළ යුතුව තිබුණද, වඩා කාර්යක්ෂම විය යුතු ද කියන එක කවුරු හරි පෙන්වා දෙනවා නම් මා ඒක සාවධානව අහන්න සූදානම්. එහෙත් එදා තරුණයකු ලෙස මට දැනෙන දේ උපරිම කළා”

“2013 රංජිත් රුද්‍රිගූ මහතා සභාපති වුණාම මා උප සභාපතිවරයෙක් වුණා. මට කිසිම වගකීමක් දුන්නේ නෑ. අපේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ. ඒකට එකම හේතුව මා මනිලාල් මහතාගේ පුතා වීමයි. මේ කෙනහිලිකම් නිසා ඒ අයගේ කකුලෙන් අදින්නේ නැතිව මා තරමක් ඈත් වුණා. 2017දී යළිත් පාපන්දුවට උදව් කරන්න ආවා. ඒ වේලාවේ සභාපතිකමට තරග කරන්න මගෙන් ඉල්ලීම් කළා. එහෙත් ජස්වර් – අනුර දෙන්නා පත් කරන්න මා සහාය දුන්නා. වෛද්‍ය කමිටුව හසුරුවන්න පුළුවන් වෛද්‍යවරයකුට පමණක් නිසා මා ඒ වගකීම පමණක් ගත්තා. ඒ වේලාවේ වෙන කෙනෙකුගේ අවස්ථවක් මා අහිමි කළේ නෑ”

“මේ ඡන්දයේ මගේ ප්‍රතිවාදියා බලන්න. ඔහු අවුරුදු 6ක්ම ලොකු පුටුවක හිටියනේ. යමක් කිව්වොත් කරපු කෙනෙක්ද? ඇත්ත කියන කෙනෙක්ද? යමක් පොරොන්දු වුණොත් කරපු කෙනෙක්ද? ලීග්වල අය දන්නවා. නොදන්න අය හොයලා බලන්න අවශ්‍යයි. මා ගැනත් හොයන්න. මා කරන හැමදේම කිය කිය යන කෙනෙක් නොවෙයි. එහෙත් සොයා බලන්න පුළුවන්” ඔහු විවෘත ආරාධනාවක් කළේය.

Related posts

Leave a Comment