නිවෙස්වලට ගොස් කොරෝනා සුව කරන බව කියූ හොර දොස්තර මාට්ටු

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ නිවසටම පැමිණ අධික මුදල් අය කර ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයකු යැයි කියා  ගන්නා පුද්ගලයකු හා සහායකයකු පිළියන්දල, කහපොල නිවසක පුද්ගලයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටියදී ඊයේ (02 ) අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.

එම පුද්ගලයන් පැමිණි වෛද්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කර තිබූ වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ, ඖෂධ තොගය ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

කහපොල ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියා ගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව සිදුකළ වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංකයක් වෛද්‍යවරියට සොයා ගැනීමට හැකි වී තිබූ බව පොලිසිය කියයි.

වෛද්‍යවරිය විසින් ඇය කහපොල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට හඳුන්වා දෙමින් එම දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තම සහෝදරයා කොරෝනා ආසාදිතයකු බැවින් ප‍්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවට පවසා තිබේ.

පැමිණ ප‍්‍රතිකාර කිරීම සඳහා රුපියල් එකොළොස් දහසක්, දහතුන් දහසක් අතර මුදල් ප‍්‍රමාණයක් අය කරන බව වෛද්‍යවරයා යැයි කියා ගන්නා පුද්ගලයා පවසා තිබූ අතර, එයට එකඟ වූ වෛද්‍යවරිය ඔවුන්ට තම නිවසට පැමිණ සහෝදරයාට ප‍්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය ඒ බව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග ජයරත්න මහතාට පැවසීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කහපොල ප‍්‍රදේශයේ නිවස වෙත ගොස් උපායමාර්ගිකව එම නිවස කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවසක් බවට හැඟවීමට නිරෝධායන පුවරු අලවා එම නිවසේ කාමරයක් තුළ සැඟවී සිට ඇත.

අදාළ නිවසේ තරුණයකු රෝගියකු සේ වෙස් වලා ඇඳ මත හොවා ඔහුගේ සහෝදරයකු පමණක් නිවසේ රැඳවීමට කටයුතු කිරීමට වෛද්‍යවරිය සහ පොලිස් නිලධාරීන් එක්ව කි‍්‍රයා කර ඇත. ජංගම දුරකථනය හරහා වෛද්‍යවරිය ඇමතූ ව්‍යාජ වෛද්‍යවරයා තමන් කැස්බෑව ප‍්‍රදේශයේ රෝගියකුට ප‍්‍රතිකාර කර මද වේලාවකින් පැමිණෙන බවට දැනුම් දී තිබේ. පසුව ඔහු එම නිවස වෙත පැමිණ ඇත.

පැවසූ පරිදි වෑන් රථයකින් පැමිණි එම පුද්ගලයා සහ සහායකයා නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂණ ඇඳුම් කට්ටලයකින් සැරසී නිවස තුළට පැමිණ ඇඳ මත සිටි රෝගියා පරික්ෂා කිරීමට සූදානම් වීමත් සමගම කාමරයක් තුළ සැඟවී සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානය වටකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් කිහිප අවස්ථාවකම රෝගීන් මුලාකර දහස් ගණනින් මුදල් ලබාගෙන ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.

වෛද්‍යවරයා ලෙස සිටි පුද්ගලයා විදේශයක වෛද්‍ය උපාධිය ලැබූවකු බවට පැවසුවද ඔහු සන්තකයේ කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත්, අනෙක් පුද්ගලයා ඇඟලූම් කර්මාන්තශාලාවක හිටපු සේවකයකු බවත් පොලිසිය පවසයි.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය මෙසේ පැවසුවාය.

”මෙම පුද්ගලයන් දෙදෙනා සිදුකළේ සම්පූර්ණයෙන්ම නිරෝධායනය පනත උල්ලංඝනය කිරීමක්. නිරෝධානයට ලක් කර තිබෙන නිවසකට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අවසරයක් නොමැතිව ඇතුළු වීම හෝ පිටවීම සිදු කළ නොහැකියි.

පිටස්තර වෛද්‍යවරයෙකුටත් එලෙස යෑමට නොහැකියි. මෙම පුද්ගලයන් රෝගය පතුරුවන වාහකයන් විදිහට කටයුතු කරනවා වෙන්න පුළුවන්. මේ වෙලාවේ කොරෝනා හැදිලා අසරණ වෙලා ඉන්න රෝගීන් තවත් අසරණභාවයට පත් කරලා ඔවුන්ගෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරමක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා.

Related posts

Leave a Comment