බිලියන 100ක් වන්දි ගත්තත් සිදු වූ හානිය පියවන්න බැහැ – මහින්ද අමරවීර

ඊයේ (2) පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේ “එක්ස්ප්‍රස් පර්ල්” නැව ගිනි ගැනීම නිසා රුපියල් බිලියන 100ක් වන්දි ලබා ගත්තද, වූ පාරිසරික හානිය එයින් පියවිය නොහැකි බවයි. එබැවින් මේ නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම එම නැවට අප රටේ සීමාවට ඇතුළු වීම සඳහා අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් එම පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා කියයි. මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති හානිය සම්බන්ධව ආණ්ඩුව උපරිම අවධානය යොමු කර ඇති බවත්, මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (1) පැවැත් වූ සාකච්ඡාවේදී තීරණ රැසකට එළඹුණු බවත්ය.

ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව කෙතරම් වන්දියක් ලැබුණත් එය සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිලවු කළ නොහැකි බවත්, මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ මේ නැව ගිලී ගිය හොත් විය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම සම්බන්ධව බවත් පැවසූ ඇමැතිවරයා තෙල් කාන්දු වීමක් වුව හොත් එය වළක්වා ගැනීමට පියවර නොගතහොත් දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට වන බවත් කීය. එම නිසා නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ විශේෂඥයන්ගේ මතය පරිදි බවත් නැව ගැඹුරු මුහුදට ඇද ගෙන යෑම හා තෙල් කාන්දු වීමක් වුව හොත් එය වළක්වා ගත යුත්තේද විශේෂඥ මතය අනුව විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරන ලදැයිද ඇමැතිවරයා පැවසීය.

කෙසේ වුවද මෙවැනි සිදු වීම් කිහිපයක් ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා මුහුද තුළ සිදු වූ බැවින් ඉදිරියේදී නැවතත් මේ අන්දමින් නැවක් ගිනි ගැනීමට ලක් වුව හොත් විය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා අප රට සතුව තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ගැනීම සම්බන්ධව ද ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. එම නිසා එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම මඟින් සිදුව ඇති හානිය සම්බන්ධව ඇතැම් පිරිස් වන්දි මුදල් ගැනීම සම්බන්ධව කතා කළත් වඩා වැදගත් වන්නේ වන්දි මුදල් ගැනීමට වඩා අපිට විය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියේය.

Related posts

Leave a Comment