රටට අවශ්‍ය එන්නත් ප‍්‍රමාණ ලැබෙමින් පවතිනවා – ජනතාව අපහසුතාවයට පත් නොකර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න!

කොවිඩ් පාලනය සඳහා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රටට අවශ්‍ය එන්නත් ප‍්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතින බවත්, විද්‍යානුකූලව හා නිසි සැලසුමකට අනුව එම ක‍්‍රියාවලිය සිදු කෙරෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත‍්‍රික් ලේකම්වරුන් සමග ඊයේ (2) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

එන්නත්කරණයේදී ජනතාව අසීරුතාවට පත් නොවන අයුරින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප‍්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ආණ්ඩුකාරවරුන් සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන් පෞද්ගලිකවම මැදිහත් විය යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යෑමේ දී සියලූ දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ‍්‍රිතව ආසාදිතයකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලූ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

Related posts

Leave a Comment