පැලවත්තේ කෝටි තුනේ සොරකමට තිදෙනෙක් අත්අඩංගුවේ – ලක්ෂ 100ක් රන් බඩු සොයා ගනී

තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේ නිවෙසකින් පසුගියදා රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු මුදල් සහ ස්වර්ණාභරණ සොරා ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනකු රුපියල් කෝටියකට ආසන්න මුදල් සහ ස්වර්ණාභරණ සමඟ පෙරේදා (1) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි 8 වැනි දින තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් තුන්කෝටි හයලක්ෂ තිස් හයදහස් පන්සියයක විටිනාකමක් ඇති මුදල්, ස්වර්ණාභරණ සහ තවත් භාණ්ඩ සේප්පුවක් පුද්ගලයන් පිරිසක් විසින් සොරා ගෙන තිබුණි.

මේ සම්බන්ධව තලංගම පොලිසිය කළ විමර්ශනයකින් පසු බළන්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශනයේදී තවත් සැකකරුවකු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබිණි. මෙලෙස පෙරේදා (1) අත්අඩංගුව ගෙන ඇත්තේ එම සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි වේලායුදන් නමැති මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බව පොලිසිය පවසයි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලින් අනතුරුව පාදුක්ක, වග ප්‍රදේශයේ වළ දමා තිබූ සේප්පුවක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී අමෙරිකානු ඩොලර් 100 නොට්ටු 127, මැලේෂියන් රිංග්‍රිට් 50 නෝට්ටු 61, රන් වලලු 2, රන් මුදු 11, රන් පෙන්ඩන්ට් 4, රන් මාල 1, රන් කරාබු ජෝඩු 3, ජංගම දුරකතන 3ක් පොලිස් භාරයට ගෙන තිබේ. තවද සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 3ක් තිබූ බවද පොලිසිය පවසයි.මේ සැකකරු සඟවා තබා ගැනීම සහ සොර භාණ්ඩ සඟවා තැබීමට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකුද කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

Leave a Comment