රට රකිනා සුව විරුවෝ

වසංගතයක් යනු සාමාන්‍ය තත්ත්වයක් නොවේ. සාමාන්‍ය රෝග ව්‍යාප්තියකදී එම රෝගය පාලනය කිරීමට උපරිම බලය එක තැනකට යොමු කළ හැකිය. එසේ එක තැනකට බලය යොමු කිරීම තුළින් ප්‍රාදේශීය ලෙස පැතිර ඇති රෝග ව්‍යාප්තියක් පහසුවෙන් පාලනය කළ හැකිය. පසුගිය දශක කිහිපයේ මතුව ආ ඩෙංගු රෝගී ව්‍යාප්තිය අප පාලනය කළේ ඒ ආකාරයටය. මෙහිදි සුව සේවා කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙය අතිමහත්ය. යුද්ධ භූමියක ඉදිරිපස පෙරමුණේ සිටින්නේ පාබල හමුදාවය. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් සහ පුහුණුවක් තිබේ. යුද්ධය ජය ගැනීමට ඔවුන් කරන කැපකිරීම අතිමහත්ය. වසංගත තත්ත්වයකදී එම කාර්ය ඉටු කරනු ලබන්නේ සුව සේවකයන්ය. වෛද්‍යවරුන් වසංගතය පරාජය කරන වෛද්‍ය විද්‍යත්මක යුද්ධය මෙහෙය වන ජෙනරාල්වරුය. සෙසු අය ඉදිරි පෙළ කාර්ය ඉටු කරන්නන්‍ය. වර්තමානයේ ඇතිව ඇති කොවිඩ්-19 අවදානම සහ වසංගත තත්ත්වය පාලනයට ඔවුන් කරන කැපකිරීම අති මහත්ය.

  • සුව සේවා

ඔබටත් මටත් රැකියා කිරීමේදී යම් කාල සටහනක් තිබේ. උදේ සේවයට යන අපට උදේ තේ විවේකය, කැම පැය පමණක් නොව සවස තේ විවේකයක් ද ලැබේ. හවස හතර හමාරට ගෙදර යාමටත් ඉඩ ලැබේ. ඒ අපේ රැකියාවල ස්වභාවයයි. එහෙත් වෛද්‍යවරුන්ට හෝ සුව සේවා කාර්ය මණ්ඩලයට ඒ ඉඩ නැත. සමහරු දවස් ගණන් කොවිඩ් වාට්ටුවල රාජකාරියේය. එය ලෙහෙසියෙන් තැකිය හැකි කැප කිරීමක් නොවේ. යුද සෙබළකු යුද පිටියේදී දිවි දෙවන තැනට රාජකාරිය ඉටු කරන්නේ කෙසේ ද? මෙය ද එවැනිම කැප කිරීමකි. එනිසා අප ඔවුනගේ කැප කිරීම අගය කළ යුතුය. කොවිඩ් පළමු රැල්ලේදී ඇති වීමට තිබූ භයානක තත්ත්වය පාලනය වූයේ ඔවුන් සිදු කළ මහා මෙහෙය නිසාය. එසේ සිදු නොවුණා නම් එදා ඉතාලියේ තිබූ තත්ත්වය අපේ රටට ද උදා වීමට හොඳටම ඉඩ තිබුණි. එහෙත් ඒ තත්ත්වය ජය ගත්තේ සුව සේවා කැප කිරීම් නිසාය.වසංගතයක් වැනි මොහොතක දේශපාලන නායකත්වයට සහ හමුදාව ඇතුළු සෙසු අංශවලට මැදහත් විය හැකි වුවද එහි මූලික සහ විශේෂ කාර්ය ඉටු කරන්නේ සුව සේවය යැයි කීම සෙසු අංශ වෙත සිදු කරන නිගරු කිරීමක් නොව ඒ ඇත්ත තත්ත්වයයි. අපේ රටේ පමණක් නොව ගෝලීයව ගත්ත ද තත්ත්වයේ වෙනසක් නැත. ලෝකය පුරා කොවිඩ් වෙත ගොදුරු වී ජීවිතවලින් වන්දි ගෙවූ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය දහස් ගණනකි. හෙදියන්ගේ සහ සෙසු අංශවල ප්‍රමාණය මීටත් වඩා වැඩිය. ඒ සියල්ලන්ම සිය දිවිය කැපකර ඇත්තේ නිරෝගීමත් ජන ජීවිතයක් වෙනුවෙනි. තමන්ගේ පුද්ගලික ජීවිතය, දරුවන්, මාපියන් සිටියදී ඔවුන් අදත් කොවිඩ් රෝහල්වල රාජකාරී ඉටු කරන්නේ අතිමහත් කැපවීමෙනි.

  • එන්නත්කරණය

මේ මොහොතේදී අප පූර්ණ ලෙස විශ්වාසය තැබිය යුත්තේ වෛද්‍යවරුන් කෙරෙහිය. විද්‍යානුකූල එන්නත් කෙරෙහිය. අපට දේශීය වෛද්‍ය ක්‍රම තිබුණ ද දැන් එළඹ ඇත්තේ අත්හදා බැලීම් සිදු කිරීමට කාලයක් නොවේ, වසංගතය මෙල්ල කිරීමට උපරිම සවිය සහ බලය යෙදවිය යුතු කාලයකි. එමඟින් පමණක් සුව සේවක කැප කිරීම් වෙත සාධාරණයක් ඉටු කළ හැකිය. මෙහිදී රජය ද ඔවුනගේ කැප කිරීම් අගැයුමට හා අවශ්‍ය පහසුකම් ලබා දීමට ඉදිරිපත්ව සිටිති. එය ඉතාමත් හොඳ ප්‍රවේශයකි. එමෙන්ම සුව සේවක මානසිකත්වය මෙන්ම චිත්ත ශක්තිය ද ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. අද වන විට සුව සේවා කාර්ය මණ්ඩල සහ ඔවුනගේ පවුලේ සමීපතමයන් එන්නත් කිරීම ගැනත් ඔවුනට යම් ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බවටත් කතාබහක් ඇතිව තිබේ. අප විශ්වාස කරන ආකාරයට ඔවුනට යම් ප්‍රමුඛතාවක් දීමේ වරදක් නැත. එහෙත් එම එන්නත් මාත්‍රා නිසි අයටම ලැබෙන්නේ ද යන්න ගැන පමණක් යම් සොයා බැලීමක් කිරීමේ වරදක් නැත. මන්දයත් සුව සේවකයන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් උපරිම සේවයක් ලබා ගත හැක්කේ තමන් සහ තම කුටුම්භය සුරක්ෂිත බවට හැඟීමක් ඇති කිරීම තුළින් පමණි.

අප රට මීට පෙර මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දුන්නේ 1930 දශකයේදීය. එහිදී අදට වඩා සිය ගුණයක අනතුරකට ලක් වූ අතර, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවල පමණක් දස දහස් ගණනින් මිනිසුන් මිය ගොස් තිබේ. ඒ වසංගතය ජය ගැනීමට ද වෛද්‍යවරුන් මෙන්ම ජනතාව ද දේශපාලන පක්ෂ ද එකාවන්ව කටයුතු කිරීම සිහිපත් කළ යුතු අතර, අද ඇතිව ඇති කොවිඩ්-19 වසංගතය ජය ගැනීමට ද මෙම අතීත උදාහරණ සැලකිල්ලට ගත යුතුය.

  • රෝහල් ධාරිතාවය

රෝහල් ධාරිතාවය කෙමෙන් ඉක්මවා යාම නිසා මේ වන විට සුව සේවා කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍යවරුන් ද අපහසුතාවට පත්ව සිටිති. එනිසාම ඔවුන් පසු වන්නේ දැඩි වෙහෙසකිනි. ඒ වෙහෙස සහ දුෂ්කරතාවය බාහිරින් සිටින්නෙකුට කිසිසේත් ගණනය කළ නොහැකිය. ඒ ගැන අඩුම වශයෙන් හැඟීමක් හෝ ඇතිකර ගත නොහැකිය. ඇඳන්, අතරමැදි රෝහල් ඉදි කළ හැකි මුත් වෛද්‍යවරුන් හෙදියන් එසේ අපට ඉක්මනින් බිහි කළ නොහැකිය. එනිසා අප ඔවුනගේ සේවයට අගයක් ලබා දිය යුතුය. වෛද්‍යවරුන්ට පුද්ගලිකව ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි වුවද අනෙක් අංශවල අයට එවැනි පුද්ගලික හැකියාව ඇත්තේ සීමිතවය. එහෙත් සීමා මැද පවා ඔවුන් සේවයට එති. එය අගය කළ යුතු අතර, ඒ සේවා කැප කිරීම් ගැන ඇගයුමක් ලබා දීම කඩිනම්ව කළ යුතුය. එමෙන්ම ඔවුනට ගමන් කිරීම සඳහා ලංගම සමඟ එක්ව පෙර පැවති වැඩසටහන් නැවත පණ ගැන්විය යුතුය. එය ඔවුනගේ චිත්ත ශක්තිය ඉහළ දමන ක්‍රියාවලියකි. එමෙන්ම සංචරණ සීමා පනවා ඇති කාලවල සුව සේවකයන්ට තම රාජකාරිය සහ පුද්ගලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා යම් ලිහිල් බවක් දීම කළ යුතුය. එය සංචරණ නීතියට නිගරු කිරීමක් නොවන අතර, සුව සේවකයන් ඉටු කරන පරා‍ර්ථකාමි සේවයට ලබා දෙන ඇගයුමකි.එනිසා වසංගතය මෙල්ල කිරීමට තම දිවිය දෙවැනි කොට වැඩ කරන සුව සේවකයන්, හෙදියන් සහ වෛද්‍යවරුන්ට ඉහළ අගයක් සහ ඔවුනගේ සේවයට ආචාර කිරීම කොවිඩ් මෙල්ල කිරීමට ඔවුන් දරන උත්සාහයට ඇගයුමක් සහ වසංගතය පාලනයට ලැබෙන මනා පිටිවහලකි.

Related posts

Leave a Comment