නැවෙන් වූ හානි වෙන වෙනම තක්සේරු කර නඩු දානවා

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙන වෙනම තක්සේරු කර පාඩුව පියවා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් නඩු පවරා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ‘දිනමිණ’ ට පැවසීය.

මේ සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය සහ නාරා ආයතනය වෙන වෙනම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් නැව ගිනි ගැනීමත් සමඟ ඉන් විසිරී ගිය ප්ලාස්ටික් සහ පොලිතින් මඟින් මුහුදු ජලයට සහ වෙරළ තීරයට වූ හානිය, මත්ස්‍ය සම්පතට, කැස්බෑවන්ට, මුහුදු පක්ෂීන්ට සහ වායුගෝලයට වූ හානිය වෙන වෙනම පරීක්ෂා කර වාර්තා සකස් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කීය.

මෙහිදී වන්දි ගැනීම සඳහා වෙනම නෛතික ක්‍රියාවලියක් සහ සිවිල් නඩු පැවැරීම් ඔස්සේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෙනම නෛතික ක්‍රියාවලියක් කිරීමට නියමිත බවත් ඒ අනුව මේ පරීක්ෂා කිරීම්වලට දායකත්වය දක්වන ආයතන සඳහා වැය වන වියදම් සියල්ල ප්‍රතිපූර්ණය කර ගැනීම⁣ට නියමිත බවත් ඒ මහතා කීය.

එමෙන්ම මේ වන විට පරිසරයට වන හානිය වැළැක්වීමට සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඉන්ධන සහ අපද්‍රව්‍ය මඟින් පරිසරයට වන හානිය වැළැක්වීම මෙහි මූලික අරමුණ වී ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

Related posts

Leave a Comment