කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කරන්න සැලසුම් රැසක්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් ආණ්ඩුව සැලසුම් කරයි.

ඒ අනුව පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බළකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකි බවත් එමඟින් ගමේ පවිත්‍රතාව සහ සුන්දරත්වයද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කර ගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනඟා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පෙරේදා (2) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, එම ආයතනවලට තාක්ෂණික දැනුම දීමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.

මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අභියෝග පැමිණිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා එහෙත් ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගි සහ ඵලදායි පුරවැසියකු බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතු බව කීවේය.

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව පැවසූ බවත් කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේද එවැනිම මතයක් හෙයින් එය ජය ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබා දීම අනිවාර්යය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්, යම් අඩුවක් සිදු වුවහොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය ආණ්ඩුව මඟින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගන්නා බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම දීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමටද මෙහිදී තීරණය කෙරිණ.

පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිල වශයෙන් භාර දීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි.

රාජ්‍ය ඇමැති මොහාන් ද සිල්වා, ජනාධිපති ලේකම්, ආචාර්ය පී. බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Leave a Comment