නිරෝධායනය වන නිවෙස්වලට ගිහින් රුපියල් 12,500 අරන් ප්‍රතිකාර කරලා

පෙරේදා (2) කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කොවිඩ් රෝගයට ප්‍රතිකාර කරන බව පවසමින් නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලට ගොස් ඔවුන්ගෙන් මුදල් ගැනීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. කැස්බෑව පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කැස්බෑව පොලිස් වසමේ කහපොළ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලට යම් කණ්ඩායමක් ගොස් කොරෝනා රෝගය සුව කරන බවට පවසමින් යම් ජාවාරමක නිරත වන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කැස්බෑව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව කැස්බෑව පොලිසිය කළ විමර්ශන කර ඇති අතර, එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු පොතේ පිටුවක් පවත්වාගෙන යමින් තමන් කොවිඩ් 19 රෝගය සුව කරන බවට සඳහන් කරමින් යම් කණ්ඩායමක් නිරෝධායනයට ලක් වූ නිවෙස්වලට යමින් යම් ප්‍රතිකාර කිරීමක් කරන බවටය.

අනතුරුව කැස්බෑව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී එවැනි ආකාරයට නිරෝධායනයට ලක් කර ඇති නිවෙසකට ඇතුළු වී කොවිඩ් රෝගයට ප්‍රතිකාර කරමින් සිටි බවට පවසන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් වෛද්‍යවරුන් නොවන බවට අනාවරණය වී ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරෝධායනය කරන ලද නිවෙසකට නිරෝධායන දැන්වීම් අලවා ඇති නිවෙසකට මොවුන් ඇතුළු වී තිබේ. මේ සැකකරුවන් විසින් ප්‍රතිකාරයක් සඳහා රුපියල් 12,500ක මුදලක් අය කර ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (3) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

Related posts

Leave a Comment