නිලූකට ටෝකියෝ ඔලිම්පික් වරම් – පිට පිට තෙවරක් ඔලිම්පික් යන ලංකාවේ සිව්වැනියා

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ළඟ එන ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබයි. 36 හැවිරිදි නිලූක කරුණාරත්න 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, පිට පිට තෙවරක්ම ඔලිම්පික් ක්‍රීඩා උලෙළකට සහභාගී වන ශ්‍රී ලංකාවේ සිව්වැනි ක්‍රීඩකයා බවට පත්ව සිටී. මෙයට පෙර ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් වාර්තා කොට ඇත්තේ වසර 1996 සිට 2008 දක්වා පිට පිට සිව්වතාවක් සහභාගි වූ ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ, වසර 1984 සිට 92 දක්වා තෙවරක් ඔලිම්පික් ගිය පිහිනුම් ක්‍රීඩක ජූලියන් බෝලිං හා 1992 සිට 2006 දක්වා ඔලිම්පික් ක්‍රීඩා උලෙළට තුන්වරක් සහභාගි වී ඇති ශ්‍රියානී කුලවංශ පමණි. මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා 1992 සිට 2004 දක්වා අවස්ථා තුනකදී සහභාගි වී ඇතත් අතරමැදි 1996 ක්‍රීඩා උලෙළ මඟ හැරී ගියේය. එමෙන්ම වෙඩි තැබීමේ ක්‍රීඩිකා පුෂ්පමාලී රාමනායක ද 1992 සිට 2004 දක්වා අවස්ථා තුනකදී සහභාගි වී ඇතත් 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මඟ හැරීමෙන් අඛණ්ඩ සහභාගිත්වය ගිලිහී ගියේය.

නිලූක කරුණාරත්න මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලැබූ සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්ව සිටී. ඔලිම්පික් උලෙළ සඳහා මෙතෙක් මැටිල්ඩා කාල්සන් (අශ්වාරෝහක), මිල්කා ගෙහානී (රිද්මයානුකූල ජිම්නාස්ටික්), ටෙහානි එගොඩවෙල (වෙඩි තැබීම) හා නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්) කෙළින්ම සුදුසුකම් ලබා සිටිති. මෙයට අමතරව වයිල් කාඩ් ක්‍රමය යටතේ ක්‍රීඩා කිහිපයක සහභාගිත්වය වෙනුවෙන් ඉදිරියේදී මලල ක්‍රීඩා, පිහිනුම් හා මල්ලවපොර වැනි ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට අවස්ථාව හිමි වීමට නියමිතය. නිලූක කරුණාරත්න 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ අතර, 2002 සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ පහකට සහභාගී වූ පරිනත ක්‍රීඩකයෙකි. එයට අමතරව ආසියානු ක්‍රීඩා උලෙළ හා දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ රැසකට ඔහු සහභාගි විය.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළ සදහා ඔහු සුදුසුකම් ලබා ගත්තේ පෘතුගාලයේ හා පේරූ රාජ්‍යයේ පැවැති බැඩ්මින්ටන් තරගාවලි දෙකේ දැක්වූ දස්කම් අනුවය. පෘතුගාල බැඩ්මින්ටන් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් නිලූක පේරූ රාජ්‍යයේ තරගාවලියේදී අර්ධ අවසන් වටය දක්වා පැමිණියේය. පෘතුගාල තරගාවලියේදී නිලූක අවසන් පූර්ව වටයේදී දැනටමත් ඔලිම්පික් සුදුසුකම් හිමි කර ගෙන සිටින ජර්මනියේ අංක එකේ ක්‍රීඩක මැත්ස් වෙයිස්ක්‍රිචන් හමුවේ 21-12 හා 21-10ක් ලෙස පරාජය වී ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු විය. එම තරගාවලියේදී නිලූක විසින් පින්ලන්ත, ඩෙන්මාර්ක හා එස්තෝනියා ක්‍රීඩකයන් පරාජය කළහ.

Related posts

Leave a Comment