ඊශ්‍රායලයේ නව රජයක්

වසර 12ක් පුරා ඊශ්‍රායලය පාලනය කළ අගමැති බෙන්ජිමින් නෙතන්යාහුට තනතුර අහිමි කරමින් එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්ව නව රජයක් පිහිටුවීමට සූදානමින් පසු වන බව වාර්තා වේ. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වන මධ්‍යම වාමාංශික යයිර් ලපීඩ් සහ එරට ජාතිකවාදී පක්ෂයේ නායක නෆ්ටාලි බෙනට් එක්ව ඊශ්‍රායල නව රජය පිහිටුවීමට සූදානම් බව ජනාධිපති රියුවින් රිව්ලින්ට පෙරේදා මධ්‍ය රාත්‍රියේදී නිල වශයෙන් දැනුම් දී තිබේ. රජයක් පිහිටුවීමේ තීරණයට පැමිණීමට පෙර විපක්ෂයේ නායකයන් අතර දින කීපයක සිට සාකච්ඡා පවත්වා තිබිණි.

‘නව රජයක් පිහිටුවීමට මට හැකි බව මම ඔබට ගෞරවයෙන් දැනුම් දෙනවා‘ ජනාධිපතිවරයාට ඊමේල් පණිවිඩයක් යවමින් ලපීඩ් නිල වශයෙන් එසේ දන්වා තිබූ අතර, ඒ මොහොතේ ඊශ්‍රායලයේ පාපන්දු අවසන් මහා තරගය නරඹමින් සිටි ජනාධිපතිවරයා ඒ මොහොතේදිම ඔහුට දුරකතනයෙන් අමතා සුබ පැතූ බව ඊශ්‍රායල ජනාධිපති කාර්යාලය වාර්තා කළේය. ඊශ්‍රායලයේ නව රජය පිහිටුවීමේ යෝජනාව ලබන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාර්ලිමේන්තු ඡන්දයෙන් එම යෝජනාව අනුමත වුවහොත් අගමැති නෙතන්යාහුගේ පාලන කාලය නිමාවට පත්වෙයි. ඒ සඳහා විපක්ෂයට අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද සංඛ්‍යාව දැනටමත් තහවුරු වී ඇතැයි ද වාර්තා වේ.

නව රජය පිහිටුවීමෙන් පසු ලපීඩ් සහ බෙනෙට් අතර අගමැති තනතුර වසර දෙකින් දෙකට හුවමාරු කරගැනීමට එකඟතාව පළ වී ඇත. ඒ අනුව පළමු කාර්තුවේදී බෙනට් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය. ඔහුගේ ධුරකාලය වසර 2023 අගෝස්තුවේදී නිමාවට පත් වන අතර, ඉන් පසු ලපිඩ් අගමැතිධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය. විපක්ෂයේ නව රජයට තවත් සුළුතර පක්ෂ රැසක සහාය පළවී තිබේ. ඒ අත­ුරින් අරාබි ඉස්ලාමීය පක්ෂයේ නායක මන්සූර් අබ්බාස්ගේ සහාය හිමි වීම කැපී පෙනේ.

වසර 1996 සිට 1999 දක්වා පළමුවරට ඊශ්‍රායලයේ අගමැති පදවියට පත් වූ 71 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු අනතුරුව යළි බලයට පත් වූයේ 2009 වසරේදීය. ගත වූ කාලය තුළ ඔහු දූෂණ වංචා රැසකටම චෝදනා ලැබූ අතර, පලස්තීනයට එරෙහිව යුද ගැටුම් උත්සන්න වූයේ ඔහුගේ කාලසීමාවේදී බව වාර්තා වේ. 57 හැවිරිදි ලපීඩ් හිටපු මුදල් ඇමැතිවරයකු වන අතර, රූපවාහිනි මාධ්‍යවේදියකු ලෙස ද කලක් කටයුතු කර තිබේ. 49 හැවිරිදි බෙනට් ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයෙකි. නව රජය පිහිටුවීමෙන් පසු පලස්තීනයේ යුද ගැටුම් නිමාවට පත් වනු ඇතැයි ද, ඊශ්‍රායලයේ තරුණ පරපුරට නව අනාගතයක් උදා වනු ඇතැයි ද නෙතන්යාහුගේ ප්‍රතිවාදී පාර්ශ්ව රැසක් විශ්වාසය පළ කරති.

Related posts

Leave a Comment