කාන්තාවකට සැත්කමක් කළ රෝහල් ආරක්ෂක භටයා කොටු

පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි මායෝ රෝහලේ ආරක්ෂක භටයෙක් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් එක්තරා කාන්තාවකට සැත්කමක් සිදු කළ බවට ලැබු චෝදනාව මතයි. තට්ටම ප්‍රදේශයේ සිදු වූ තුවාලයකට ප්‍රතිකාර ලැබීමට එම කාන්තාව ඇතුළත් කර තිබූ අතර, සැත්කමක් සිදු කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් හදිසි සැත්කම් ඒකකය වෙත යවා තිබිණි. එහිදී වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි අදාළ ආරක්ෂක භටයා සැත්කම සඳහා රෝගියාගේ පවුලේ සාමාජිකයන්ගෙන් දසදහසකට ආසන්න මුදලක් ගෙන ඇත. සැත්කම සඳහා ශල්‍යාගාර සහායකු ද හවුල් වී ඇතැයි වාර්තා වේ.

සැත්කමින් පසුව නිවෙසට පැමිණ ප්‍රතිකාර කිරීමටත් වෙනම මුදලක් අය කර තිබේ. කෙසේ වුවත් තුවාලයේ තත්ත්වය බරපතළ වීමත්, අධික රුධිර වහනය වීමත් හේතුවෙන් එම කාන්තාව යළි රෝහලට රැගෙන ගොස් ඇති අතර, සත්‍ය සිදුවීම හෙළිදරවු වී ඇත්තේ ඒ අවස්ථාවේදීය. අදාළ සැකකරු වහාම පොලිසියට කොටු කර දීමට රෝහල් බලධාරිහු පියවර ගත්හ. සැත්කම සඳහා සැකකරුට සහාය දුන් ශල්‍යාගාර සේවකයා රැකියාවෙන් නෙරපා තිබේ.

Related posts

Leave a Comment