දුෂ්මන්ත චමීර වේගයෙන් ඉදිරියට

ICC නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතරේ ස්ථාන 27කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වෙයි. නිමා වූ බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වූ 29 හැවිරිදි චමීර තෙවැනි තරගයේදී සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කර ගත්තේ ලකුණු 16කට බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනකු දවා ගනිමිනි. තරග තුනේදී කඩුලු 9ක් බිඳ දැමූ ඔහු දෙවැනි තරගයේදී කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර, මේ වන විට වෘත්තීය මට්ටමේ ඉහළම ස්ථානයට එමින් 33 වැනි තැන අත් කර ගෙන සිටී.

පන්දු යවන්නන් අතර, ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අකිල ධනංජය ස්ථානයක් පහතට යමින් මාක් වුඩ් සමඟ 22 වැනි තැන රැඳී සිටින අතර, වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි තැනට පත්ව ඇත්තේ ස්ථාන 9ක් ඉදිරියට පැමිණෙමිනි. ස්ථාන 2ක් ඉදිරියට එමින් පන්දු යවන්නන් අතර, 79 වැනි තැනට පත්ව ඇති ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ ස්ථාන 7කින් ඉදිරියට පැමිණ 24 වැනි තැන රැඳී සිටී. 6 වැනි එක්දින ශතකය වාර්තා කරමින් තෙවැනි තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ නායක කුසල් ජනිත් පෙරේරා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 13ක් ඉදිරියට පැමිණ තිබේ. මේ වන විට 42 වැනි තැන පසුවන ඔහු ඉදිරියට පැමිණියේ වසර 5කට පසුවය. ඔහු 2016 වසරේ ජූනි මාසයේදී 41 වැනි ස්ථානයට පත්ව තිබිණි.

එම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළ ධනංජය ද සිල්වා ස්ථාන 10ක් ඉදිරියට එමින් පිතිකරුවන් අතර, 85 වැනි තැනට පත්ව සිටී. මේ අතර, බංග්ලාදේශ පිතිකරු මහ්මුදුල්ලා ස්ථාන 2ක් ඉදිරියට එමින් 36 වැනි තැනට පැමිණ සිටින අතර, මොසැඩෙක් හුසේන් ස්ථාන 12ක් (113), වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ස්ථාන 12ක් (88) ඉදිරියට පැමිණ සිටිති.

Related posts

Leave a Comment