චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩ

අන්තරාදායක ලෙස පදික මාරුවකදී වැරදි ලෙස රිය පැදවූ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගැනීම මත රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ නියම කළේය. අන්තරාදායක රිය පැදවීමට රුපියල් දස දහසක දඩයක් ද වැරදි මංතීරුවකින් රිය හැරවීමට රුපියල් 2500 දඩ මුදලක් බැගින් රුපියල් දොළොස් දහස් පන්සියයක දඩ මුදලක් නියම කෙරිණි. කලපලූවාව රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ෂාන් බස්නායක නමැත්තාට මෙලෙස අධිකරණය මගින් දඩ නියම විය.

කොළඹ සුපිරි හෝටලයකදී උපදින සාදයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ බව කියූ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටින ලෙස නියම කර තිබූ අතර ඔහු ඉකුත් 31 වැනිදා අධිකරණයේ පෙනී සිට ඇප ලබා නැවත පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ රියැදුරා මේ රථවාහන වරද සිදු කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් රිය හැරවීම යන සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් වාහන පනත ප්‍රකාරව වරදක් කළැයි කෙසෙල්වත්ත පොලීසිය සැකකරුට එරෙහිව චෝදනා ‍පත්‍රයක් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි. සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණයෙන් දඩ නියම විය.

Related posts

Leave a Comment