කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන්න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (4) උපදෙස් දුන්නේය.

ආපදා කළමනාකරණ විෂය භාර ඇමැති චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අගමැතිවරයා විපතට පත් වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන්නැයි අගමැතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබෙන අතර, වැසි ජලයෙන් පහත් බිම් යට වීම, ගංවතුර හා නාය යෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ නිසා ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුම්වත් කරන ලෙසද අගමැතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරුන් ද එක්ව සිටියහ..

Related posts

Leave a Comment