පරිසර හානි අධ්‍යයනයට තාක්ෂණික සහාය දෙන්න – ජනපති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගෙන් ඉල්ලා සිටියේ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යයනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා එම සහාය ඉල්ලා සිටියේය. ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඉඩම් ගැටලු විසඳීම ඇතුළුව අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට දිය හැකි සහාය පිළිබඳ ද එහිදී අදහස් පළ කළාය. වෙළෙඳ ආර්ථිකයක් ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය දීම පිළිබඳ ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය. 2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කළාය.

කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිවරයා ගත් තීරණය බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්විණි. 20.8%ක්ව පවතින ‘වන ආවරණය’ 30%ක් දක්වා වර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේද දීමටද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු වූවාය. බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇන්ඩෲ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

Leave a Comment