නැව් සමාගම ශ්‍රී ලංකාවට “Sorry” කියයි

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව හිමි ‘එක්ස්ප්‍රස් ෆීඩර්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සැමුවෙල් යොස්කෝවිච් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කලේ “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ විනාශය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පාරිසරික සාධකයන්ට වූ හානිය සම්බන්ධයෙන් සිය සමාගම කනගාටුව ප්‍රකාශ කරමින් සමාව ඉල්ලා සිටින බවයි. සිංගප්පූරුවේ ‘චැනල් නිව්ස් ඒෂියා’ රූපවාහිනි සේවය සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඊයේ (4) ඔහු මේ ප්‍රකාශය කළේය.

‘ඇත්තටම සියල්ලටම ප්‍රථමව මම දෙයක් කියන්න ඕනි. මේ අනපේක්ෂිත ව්‍යසනයත් එක්ක ශ්‍රී ලංකාවේ පරිසරයට සහ ජන ජීවිතයට විශාල හානියක් වෙලා තියෙනවා. මේ නිසා අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා මේ සිදුවීම සම්බන්⁣ධයෙන්. අපට සමාවෙන්න කියලා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා’ යැයි පිළිතුරු දීම ආරම්භ කරමින් ප්‍රධාන විධායක නිලධාරිවරයා පැවසීය. මේ විනාශය හා සම්බන්ධව මේ දක්වා ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී වීමට නියමිත පාරිසරික හානිය වැළැක්වීමට මෙන්ම වන්දි දීමේ ක්‍රියාමාර්ග පිළිබඳද මෙහිදී ඔහු පැහැදිලි කිරීමක් කළේය.

විනාශය වූ අවස්ථාවේ සිට කඩිනමින් අන්තර්ජාතිකව පිළිගත් ඉහළම සංවිධාන කිහිපයක සහයෝගය ගෙන තෙල් විසිරීමක් නොවීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් මේ වන විටත් නෞකාවෙන් තෙල් විසිරීමක් වාර්තා වී නොමැති බවත් ඔහු පැවසීය.මින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් සඳහන් කළ ඔහු එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බවත් රක්ෂණය වී තිබීම හේතුවෙන් සමාගමට වන පාඩුව අවම බවත් විධායක නිලධාරිවරයා කීය. ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමට අදාළව තක්සේරු කටයුතු මේ වන විට කරමින් පවතින බවත් දැනට පවතින මූලික කටයුතු අවසන් කිරීමෙන් පසු එය නිශ්චිත වශයෙන්ම කරන බවත් ඔහු කීවේය.

‘‘අපි ශ්‍රී ලංකා රජය සහ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉන්නවා. සමුද්‍රීය පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාකච්ඡා ආරම්භ කර තියෙනවා. නාවික හමුදාව වෙරළ පිරිසුදු කරමින් සිටිනවා. අපි හැකි උපරිමයෙන් මේ සඳහා බර යන්ත්‍රසූත්‍ර රැසක් යොමු කරලා තියෙනවා. සංචරණ සීමා තිබියදීත් මෙලෙස කැපවීමෙන් කටයුතු කරන මීපා ආයතනයට සහ නාවික හමුදාවට ස්තූතිය පුද කරනවා.”

Related posts

Leave a Comment