බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වුණු බවයි.

කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කර ඇති මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහය පිළිබඳව අදහස් පළ කර ඇත.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු වී තිබේ.

වසර 2030 වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහය වීමටත් මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය එහිදී එකඟතාව පළ කර ඇත.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිවරයා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්විණ. 20.8%ක්ව පවතින ‘වන ආවරණය’ 30% ක් දක්වා වර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් ලබාදීමට ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.

එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඉඩම් ගැටළු විසඳීම ඇතුළුව අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

Related posts

Leave a Comment