කාබනික පොහොර ආනයනය කළ යුතු වෙනවා – මහින්ද අමරවීර

පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසන්නේ කාබනික පොහොර ආනයනයේදී මෙරට පරිසරයට හානියක් නොවන ආකාරයෙන් ආනයනය කිරීමට ආණ්ඩුව පුළුල්ව අවධානය යොමු කර ඇති බවයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදීය.

පරිසර ඇමති මහින්ද අමරවීර මහතා තවදුරටත් මෙසේද පැවසීය,

“රසායනාගාර පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ආනයනය කළ හොත් ඒ ඔස්සේ අපේ වගාවන්ට මෙන්ම පරිසරයට හානිකර විවිධ පැළෑටි වර්ග මෙන්ම කෘමි වර්ග ද පැමිණීමට ඉඩකඩ තිබෙනවා. ඒ බැවින් ආණ්ඩුව මේ සියලු කරුණු සම්බන්ධව පුළුල් ලෙස අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී ද මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කළා. රසායනික පොහොර ආනයනය කරන ක්‍රමවේදයට කාබනික පොහොර ආනයනය කළ නොහැකියි. විශේෂයෙන් මොන රටේ නිෂ්පාදනය කළත්, නාගරික කැළිකසළ යොදාගෙන නිපදවනු ලබන කාබනික පොහොර වගාව සඳහා යෙදීම සුදුසු නොවන බව පිළිගත් කාරණයක්. එමෙන්ම රසායනික පොහොර මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව ඒවා රසායනික පරීක්ෂාවට ලක් කරන අතර ඒ සඳහා රසායනාගාර පහසුකම් අප රට තුළ තිබෙනවා. එහෙත් කාබනික පොහොර පරීක්ෂාව සඳහා මේ වන තෙක් කිසිදු රසායනාගාරයක් අප රට තුළ ස්ථාපිත කර නැහැ. කාබනික පොහොර ආනයනය කරන්නේ නම් ඊට පෙර ඒ සඳහා රසායනාගාර පහසුකම් ඇති කළ යුතුයි. කාබනික පොහොර ආනයනය කළ යුත්තේ එවැනි ක්‍රියාදාමයකින් පසුවයි. කෙසේ වුවත් එවැනි පරීක්ෂාවකින් තොරව වරායේ නිරෝධායන අංශය කිසිසේත්ම ආනයනික කාබනික පොහොර මෙරටට ඇතුළුවීමට අවසර ලබා දෙන්නේ නැහැ. එම නිසා පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ආනයනය කිරීමට පියවර ගන්නේ නැහැ.”

Related posts

Leave a Comment