කොළඹට ගසක් ඉතිරි කරමු

ලෝක පරිසර දිනය මූලික කර ගෙන කොළඹ මහා නගර සභාව ක්‍රමානුකූලව විවිධ පරිසර පද්ධති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පරිසර දිනය හා සැබැඳි ආයුර්වේදය අප ජීවත්වන පරිසරයට කොතරම් දුරට බද්ධ වී පවතී ද යන්නත්, එහි අඩංගු කාරණා පිළිබඳ විමර්ශනයක් ඉදිරිපත් කිරීමටත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රෝගීන්ගේ රෝග සුවපත් කිරීම පමණක් නොව ධාර්මිකවුත්, සදාචාර සම්පන්නවූත්, ජීවිතයක් ගත කිරීමට උගන්වන ආචාර ධර්ම හා උපදෙස්වලින් යුක්ත වූ ජීවිත දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ජිවන දර්ශනයක් වු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හුදෙක් මිනිස්සුන්ගේ රෝග නිවාරණයට මෙන්ම රෝග වැළක්වීමට පමණක් සීමා වූවක් නොවේ. එය සතුන්ගේ මෙන්ම වෘක්ෂලතාවන්ගේ ද රෝග වළක්වාලීමට සහ රෝගවලට ප්‍රතිකාර කරලීමටද මහෝපකාරී වූ දර්ශනයක් බව කිවයුතුය. පෘථිවියේ ජීවීන්ගේ පැවැත්ම සඳහා මනුෂ්‍ය ප්‍රජාව,සත්ව ප්‍රජාව හා ශාක ප්‍රජාව යන කොටස් තුනම සමබරව පැවතීම අවශ්‍යයයි සිතු පුරාණ වෙදවරු ඒ අනුව ආයුර්වේද ශාස්ත්‍රය කොටස් තුනකට බෙදාවෙන් කළහ. සත්වයන් හා බැඳුණු සත්වායුර්වේදය (අශ්වායුර්වේදය, ගජායුර්වේදය, ගවායුර්වේදය) ලෙසත් වෘක්ෂලතා හා බැඳුණු වෘක්ෂායුර්වේදයත්,මානවයා හා සම්බන්ධ මනවායුර්වේදයත් ‍ෙලස මේ කොටස් තුන හැදින්වේ.

වෘක්ෂායුර්වේදය පිළිබඳ සලකා බලන විට මනුෂ්‍යයන් හා සත්වයන් පමණක්ම ලෙඩ රෝගවලින් මුදාගැනීම, ඔවුන්ගේ රෝදුක් නසාලීම යන මේවාට පමණක් සීමා නොවී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වෘක්ෂලතාවන්ටද පොදු වුවක් වෙයි.ආයුර්වේද විද්‍යාවේ ඉගැන්වෙන අන්දමට මානව දේහය සත්ව ශරීරය පමණක් ම නොව වෘක්ෂලතා ද පංච භෞතික වේ. ඒසේම මිනිස්සුන්ට සතුන්ට මෙන්ම වෘක්ෂලතාවලට ද ජීවයක් හා පුනර් ජන්මයක්ද ඇතැයි භාරතීය දර්ශනවාදීන් ප්‍රකාශ කැර ඇත. ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතා කරන ඖෂධ වර්ගවලින් සියයට අනූනවයක්ම ශාක ඖෂධ වන නිසා ගස්වැල් යැවීමත්, වනාන්තර ආරක්ෂා කර ගැනීමත්, ආයුර්වේදයේ ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් සේ සැලකේ.

භූමි නිර්මාණය කිරීම, නිරූපණය, වෘක්ෂලතාවන්ගේ උප්පත්ති ක්‍රම, වෘක්ෂලතා ප්‍රභේද, තුරුලිය හදා වඩා ගැනිම සඳහා තවන් කිරිම සදහා හෝ සිටුවීම පිණිස හෝ බීජ සකස් කර ගන්නා ආකාරය, බීජ තවාන් කිරීම හෝ පැළ තවාන් කිරිමට සුදුසු සෘතු, මාස සහ දිනයන් හා නැකත් ආදිය පිළිබඳවත්, ගස්වැල් රෝපණයට යෝග්‍ය හා අයෝග්‍යස්ථාන පිළිබඳ, ගස් සිටුවීමේදී ඒවා අතර පැවැතිය යුතු පරතරය පිළිබඳ, පැළ සිටුවීම නොකළයුතු අවස්ථා පිළිබඳව, සිට වූ ඇටවලට හා පැලවලට ජලය යෙදීම පිළිබඳව, සිටවූ ඇට හා පැළවල පෝෂණ තත්ත්වය පිළිබද කරුණු අඩංගු වේ.

ශාක බෝකර ගැනීමේ ක්‍රම එසේම ශාක වලට වැළඳෙන රෝග. ශාක ගොදුරු වන හදිසි අන්තරාදායක රෝග පිළිබඳවත් ඒවාට කළයුතු විවිධ වූ ප්‍රතිකර්ම පිළිබඳ විස්තර දක්වා ඇත.ප්‍රතිකර්ම පිළිබඳව සලකා බැලීමේදී වාත,පිත,කඵ, දෝෂය හා ත්‍රිදෝෂ සම්බන්ධ විවිධ ලක්ෂණත්,ඒවායේ නිරූපණය වන රෝග පිළිබඳවත්,වෘක්ෂායුර්වේදයේ සඳහන් වේ.

මෙම වෘක්ෂායුවේදයේ විශේෂයෙන්ම විචිත්‍රකරණය ලෙස කොටසක් විස්තර වේ. වෘක්ෂලතා විචිත්‍රකරණය ලෙස අදහස් කරනු ලබන්නේ කිසියම් ඖෂධ වර්ග උපයෝගී කොටගෙන සුවඳ නැති මල් පිපෙන ගසක සුවඳ මල් ඇති කරවීම, ඇට ඇති ගෙඩි සෑදෙන පලතුරු ගසක ඇට නැති පළ හට ගැන්වීම යන මේ ආදී වශයෙන් විස්මිත ජනක ලෙස ගස්වැල්වල මල් ඵල හටගැන්වීමේ ක්‍රමවේදයන් වේ.

වෘක්ෂායුර්වෙදයේ ආරම්භය පිළිබඳව ස්ථිර ප්‍රකාශයක් කළ නොහැකි නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ආර්ය ජන සමාජයේ ද වෘක්ෂායුර්වේද ආයුර්වේද විද්‍ය­ාඥයන් වාසය කළ බව ඉතිහාසය පරිශීලනය කරනු ලබන්නන්ට දැනගත හැකිය. එසේම මේ සම්බන්ධ පොතපත පිළිබඳව සලකා බැලීමේදී ලංකාදීපයේ ජනතාවගේ බෞද්ධාගම, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ග්‍රන්ථ නොයෙක් වර විවිධ ආක්‍රමණයන්ට මුහුණදීම නිසා විනාශ වීම බොහෝදුරට සිදුවී ඇතැයි විශ්වාස කළ හැකිය.

මෙසේ ග්‍රන්ථ බොහොමයක් විවිධ වකවානුවලදී විනාශ වීම වර්තමානයේ බොහෝ අඩුපාඩුවක් ලෙස දැක්විය හැකිය. මෙම ග්‍රන්ථගත කරුණු රාශියක් සමඟ සමාජයට ලබාගත හැකි දැනුම් සම්භාරයද වියැකීගොස් ඇති බව ආයුර්වේද ශාස්ත්‍රය පරිශීලනය කරන්නන්ට හොඳින් පැහැදිලි වේ.

මෑතකාලයේ, මනුෂ්‍ය ප්‍රජාවත්, සත්ව ප්‍රජාවත්, ශාක ප්‍රජාවත් ජීවත්වීම සඳහා ස්වභාවිකව නිර්මාණය වූ පරිසරය බුද්ධිමත් වූ චින්තන ශක්තිය ඇත්තා වූ මිනිසා විසින්ම විනාශ කිරීම ඛේදජනකය. ජීවත්වීම සඳහා අවශ්‍යය සම්පත්වලින් විශාල ප්‍රමාණයක් ස්වභාව ධර්මයා නිර්මාණය කර දී තිබේ. මෙම සුවිශේෂ වූ සම්පත් නැතිව කිසිම ජීවියකුට මිහිතලය මත ජීවත්විය නොහැකිය. ගස්වැල් නිර්මාණය වී ඇත්තේ පරිසරයේ සමබරතාව රැකීම සඳහාය. එසේ නොමැති වුව හොත් ඔක්සිජන් වායුව වාතයට නොලැබීමෙන් සත්ව ප්‍රජාව විනාශය කරා යෑම වැළැක්විය නොහැකිය. එමෙන්ම ආහාර නොමැතිවීම හේතුවෙන් සතුන් ද විනාශ වී යන අතර, අනෙක් අතට සතුන්, කෘමීන් වැනි ජීවින් නොමැති වූයේ නම් පරාගපෝෂණය නොවීමෙන් ගස්වැල්ද වඳවී යෑමට හැකිය.

ස්වභාවධර්මය විසින්ම ආරක්ෂා කරන පරිසරය මිනිසා විනාශ කර ඇත.මෙලෙස අසීමිතව වාතය ජලය අපිරිසිදු කළහොත්, අසීමිත ලෙස සත්ව ප්‍රජාවේ වාසස්ථානය විනාශ කළහොත්,අසීමිත ලෙස පරිසරය විනාශ වී යාමෙන් මනුෂ්‍ය ප්‍රජාවද අනිවාර්යෙන්ම නුදුරු අනාගතයේ දී විනාශ වී යනු ඇත.ඒ නිසා මනුෂ්‍යන් වන අප සත්ව හා ශාක ප්‍රජාව ආරක්ෂා කිරීමට ක්‍රියාමර්ග යුහුසුලුව ගත යුතු වේ.

ආයුර්වේදය හඳුන්වා දෙන වෘක්ෂායුර්වේදය යළි ඉදිරියට ගෙන එමින් විශේෂයෙන් ශාක ප්‍රජාව ආරක්ෂා කරගැනීමට අවදි වියයුතු යුගයකට අප ප්‍රවිෂ්ට වී ඇත. ශාක ප්‍රජාව ආරක්ෂා කළ යුතු වන්නේ ඖෂධ පැළෑටි ලබාගැනීම හා ආහාර ලබාගැනීම සඳහා පමණක්ම නොවේ. රුක්රෝපණය මඟින් පස ආරක්ෂා කර ගැනීමෙන් විවිධ ප්‍රතිලාභ අපට ලබාගත හැකිය.

කොළඹ වැනි අධික ජනතාවක් වෙසෙන පරිසර පද්ධතියක ඉදිරියේදී අභියෝගයක් විය හැකි ඔක්සිජන් ඌනතාව සඳහා සාර්ථක පිළියමක් වශයෙන් කොළඹ නගර සීමාවේ ඉඩ ඇති ස්ථානයන් හි පැළයක්,ශාකයක් රෝපණය කිරීම් සඳහා ගත හැකි ස්ථාන හඳුනාගෙන රුක්රෝපණය කිරීම අනාගත පරපුර සඳහා ඉටු කර දෙන මහඟු පුණ්‍යකර්මයක්ම වන්නේය. සමස්තයක් ලෙස ඉතා සරලව විග්‍රහ කළහොත් රුක්රෝපණය කිරීමෙන් පහත සඳහන් ප්‍රතිඵල අප වෙත ලැබෙන බව පෙන්වාදිය හැකිය.

  • පරිසරයේ සමබරතාව රැකගැනීම හා පිරිසිදු වාතය ලබා ගැනීම.
  • පරිසර උෂ්ණත්වය සමබර කැර ගැනීම
  • ජලසම්පත ලබා ගැනීම
  • ආහාර පාන වර්ග සකසා ගැනීමට
  • පස ආරක්ෂාකර ගැනීමට
  • වර්ෂාපතනය නිසිකලට ලබා ගැනීමට
  • සත්ව සම්පත ආරක්ෂා කර ගැනීමට
  • ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම
  • දැව සම්පත් ලබා ගැනීම
  • පරිසරයේ සුන්දරත්වය හා සුවඳවත් බව රැක ගැනීමෙන් මනුෂ්‍යයාට ඉතාමත් සුඛිත වූ පරිසර පද්ධතියක ජීවත්වීමට මඟ සලසාදීම.

වෘක්ෂායුර්වේදය හා ලියවුණු ග්‍රන්ථ රාශියක් තිබූ බව කීවත් ඒවා අතුරින් “ශ්‍රී ශිවතත්වරත්නාකරය”, “වෘහත් සංහිතාව” හා “ශාර්ංගධර පද්ධතිය”යන මේවා ඉතා වැදගත් කෘතීන් හැටියට සලකනු ලැබේ. චරක සංහිතාව ආදී මුලික ආයුර්වේද සංහිතා ග්‍රන්ථයන්හි ද තැනින් තැන වෘක්ෂායුර්වේදය විෂයෙහි ලා ගැනෙන නොයෙක් කරුණු ඇතුළත්ව ඇති බව කිව හැකිය.එයට නිදසුනක් ලෙස චරක සංහිතා වේ. කල්පස්ථානයේ පස් වැනි අධ්‍යායයෙහි සඳහන් වන වෘක්ෂලතාවන්ගේ ස්ත්‍රි පුරුෂ භේදය විස්තර වන මෙහි පහත දැක්වෙන ශ්ලෝකය ඉදිරිපත් කළ හැකිය.

” අථ වත් සකනාමානී හෙදං ස්ත්‍රි පුංසයෝස්තථා
කල්පං චාස්‍ය පුවක්ෂ්‍යාමී විස්තරේණ යථායථම්
වත්සකඃ කුටජඃ ත්‍රාකා වෘක්ෂතෝ ගිරිමල්ලිකා
බීජනීන්ද්‍රීය මාස්තස්‍ය තථෝව්‍යන්තේ කලිංගකාඃ
වෘගත්ඵලඃ ශ්වේත පුෂ්එං ස්නිග්ධ පත්‍රඃ පුමන්භවේත්
ග්‍යාමාචාරුණ පුෂ්පාස්ත්‍රි ඵල්වෘන්තෛස්තථාණුහිඃ “

මෙම ශ්ලෝක පාඨයෙහි පැවසෙන අන්දමට සුදුමල්, සිනිදු කොළ සහ ලොකු ගෙඩි ඇතිවන්නේ පුරුෂ කෙලිද ගස්වලය. ශ්‍යාම වර්ණ, අරුණු වන් පාට, රළු කොළ, කුඩා නැටි, කුඩාමල්, කුඩා ගෙඩි යන මේවා ස්ත්‍රි කෙලිද ගසක් හඳුනා ගැනීමට උපකාර වේ. මෙවැනි කරුණු වලින් පැහැදිලි වන්නේ ඉතා ඈත අතීතයේ දී පවා වෘක්ෂායුර්වේද විද්‍යාඥයනට ගස්වැල් වල ස්ත්‍රි පුරුෂ භේදය විනිශ්චය කර ගැනීම වැනි දේ ගැන පවා හොඳ විද්‍යාත්මක දැනුමක් තිබුණු බවයි. වෛදික යුගය වැනි ඈත අතීතයේ දී පවා වෘක්ෂායුර්වෙද විද්‍යඥයෝ මෙවැනි කරුණු පිළිබඳව මැනවින් දැන සිටියහ.එහෙත් මෙම කරුණ පිළිබඳ කැරොලස්ලීනියස් නැමැති නූතන උද්භිද විද්‍යඥයා ඒ හා සම්බන්ධ ලක්ෂණ සොයා ගන්නා ලද්දේ එයට බොහෝ කලකට පසුව, එනම් ක්‍රිස්තු වර්ෂ 1778 දීය.

2021 ජුනිමස 5 වැනි දින ආරම්භ කිරීමට යන මෙම මහඟු ව්‍යපෘතිය සඳහා කොළඹ නගර වැසි සැමගේත්, ආයතනවල සේවය කරන සැමගේත්, සක්‍රිය දායකත්වය ලබා දී, පරිසරය සමතුලිතභාවය රැක ගැනීමට දායකවිය යුත්තේ, අපගේ යුතුකමක් පමණක් නිසාම නොව වගකීමක් වන නිසා වෙනි. කොළඹ මහ නගර සභාවේ ස්වදේශී වෛද්‍ය දෙපාර්තමේන්තුවද මෙම මහඟු කර්ත්‍යව්‍ය සඳහා උපරිම දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වේ.

නියෝජ්‍ය ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරී -ආර්.ඩී.එම්. ගමගේ (ස්වදේශී වෛද්‍ය දෙපාර්තමේන්තුව, කොළඹ මහා නගර සභාව).

Related posts

Leave a Comment