අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

දිවයිනේ දිස්ත්‍රික්ක 10කට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ඊයේ (06) වන විට පුද්ගලයන් 16 දෙනකු මියගොස් 3ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින ගංවතුර ඇතුළු ස්වාභාවික ආපදාවන් නිසා මේ වනවිට 270,912 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි. එමෙන්ම බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 67,564ක් වේ.

මේ අතර සිදු වී තිබෙන ආපදා හේතුවෙන් පුද්ගලයන් 05 දෙදෙනෙක් තුවාල ලබා තිබෙන අතර පුද්ගලයන් 03 දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වන විට ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි පවුල් 6176 කට අයත් පුද්ගලයන් 26846 දෙනකු සිටින අතර, ඥාතීන්ගේ නිවෙස්වල පුද්ගලයන් 22932 දෙනකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ගංවතුර, තද වර්ෂාපතනය, දැඩි සුළං සහ නාය යෑම් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක් බලපෑමට ලක්ව ඇති බව එම මධ්‍යස්ථානයේ දත්ත වාර්තා කරයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ ප්‍රදේශ කිහිපයකට තවමත් සුළු ගංවතුර අවදානම් මට්ටමක් පවතින බවයි. එනමුත් ඉදිරි දින දෙක ඇතුළත ගංගා ඉහළ ධාරා ප්‍රදේශවලට වර්ෂාපතනය ඇති නොවන්නේ නම් එම ගංවතුර මට්ටම ක්‍රමයෙන් අඩුව යනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබෙන නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Related posts

Leave a Comment