හැර ගිය බිරිඳ හසු කිරීමේ අරමුණින් සූරියවැවදී දැරිය පැහැර ගත් පියා හා බාප්පා අත්අඩංගුවට

සූරියවැව බැද්දෙවැවදී ගිනි අවියක් පෙන්වා දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙස හා ඉදිරි දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හම්බන්තොට වැඩබලන මහේස්ත‍්‍රාත් ආරියසේන මහතා පෙරේදා (05) දහවල් නියෝග කෙරුණි.
 
 මෙලෙස ශරීර ඇප මත මුදා හරිණු ලැබුයේ දැරියගේ පියා වන 32 හැවිරිදි තිළින නයන සමරසිංහ හා ඔහුගේ බාල සොහොයුරා වන චතුරංග උදය කුමාර සමරසිංහ නැමති දෙදෙනාය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය වෙන්ගප්පුලි මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා දැරිය සිය පියා බාරයේම තබාගැනීමටද අවසර ලබාදුණි.
 
 සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද පදිංචි වයස අවුරුදු 06ක දැරියක් යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා නිවැසියන් බියගන්වා ඉකුත් 04 වැනි දින අළුයම පැහැරගෙන ගිය බවට දැරියගේ පියා වන 32 හැවිරිදි තිළින නයන සමරසිංහ යන අය විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
 
 ඒ අනුව සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ලබාදී තිබූ පරස්පර විරෝධී ප‍්‍රකාශ හේතුවෙන් සූරියවැව පොලිසිය විසින් දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා හා පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කළ සිදුවීමක් බවයි. ඊට හේතුව වී ඇත්තේ මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ
 
 මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීමට හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීමේ අරමුණින් බවයි. මෙහිදී සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඉකුත් 03 වන දින සිය දැරිය සූරියවැව පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 4 දින අළුයම මෙම පැහැර ගැනීම සිදුවූ බවට සැකකාර පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ල සිදුකර තිබේ. පොලිසියට පැමිණිල්ල සිදුකිරීමෙන් පසු සැකකාර පියා 04 දින උදෑසන දැරිය නවතා තිබූ ඥාති නිවසින් රැගෙන හම්බන්තොට රෝහල අසලට ගොස් දික්වැල්ල දොඩම්පහල ප‍්‍රදේශයේ පදිංචි බිරිඳගේ ඥාතිවරයෙකුගේ  නිවසට යවා ඇති බවයි.
 
 ඒ අනුව සිදුකළ පොලිස් විමර්ෂණවලදී සැකකාර පියා හා ඔහුගේ බාල සොහොයුරා එක්ව මෙම සිදුවීම නිර්මාණය කර ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු මුල් අවස්ථාවේදීම සිද්ධිය පිළිබඳව වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත මුදා හැර තිබේ.
 
 තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඒ.ඩබ්ලිව්. සුරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Leave a Comment