අනිද්දා ඇරඹෙන එංගලන්ත සංචාරයට සල්ලි ප්‍රශ්න බාධාවක් නොවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම ගැටලුව විසඳීම සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස් කළ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි, තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු සමඟත්, ක්‍රිකට් ක්‍රීඩකයන් සමගත් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතත් අනිද්දා (9) ආරම්භ වන එංගලන්ත සංචාරයට එයින් කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු පැවසීය. ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද මේ දක්වා එම ඉල්ලීම ඉටු කර නැති හෙයින් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් දැනුම් දී ඇත. ක්‍රීඩකයන් කාණ්ඩ ගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට ලකුණු හිමි වූ ආකාරය හෙළි කරන්නැයි ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.

“අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. සියල්ල සාකච්ඡාවෙන් විසඳාගත යුතුයි. ක්‍රීඩකයන් සාධාරණ විසඳුමකට එන්න සූදානම් බව පේනවා. ඒ නිසා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට හොඳම විසඳුම දෙන්න අප සූදානම්. මේ වැටුප් ප්‍රශ්නය ඉදිරි සංචාරවලට කිසිදු බලපෑමක් ඇති වන්නේ නෑ” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අනිද්දා අලුයම 12.05ට එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, එය නියම කරගත් පරිදි සිදු වන බව ද තහවුරු කළේය. කෙසේ වුවද කොන්ත්‍රාත්තු අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩකයන් 38ක් ලිපියකට අත්සන් තබා ඇති අතර, මීට පෙර නව යෝජනා ක්‍රමයට විරෝධය දක්වමින් ක්‍රීඩකයන් 24ක් අත්සන් තබා තිබිණි. නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා සහ තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය සකස් කොට මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ අතර, එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් කළමනාකරණ කමිටුව මඟින් සිදු කෙරිණි.

ක්‍රීඩකයන්ගේ දස්කම් සියයට 50ක්, ශාරීරික යෝග්‍යතාව සියයට 20ක්, ක්‍රීඩකයන්ගේ සූදානම සියයට 10ක්, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම සියයට 10ක් සහ අනාගත වැඩදායි බව වෙනුවෙන් සියයට 10ක් වශයෙන් ලකුණු ක්‍රම භාවිතා කර නව කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කොට තිබිණි. එම නිර්ණායක මත අදාළ ක්‍රීඩකයන් ඒ, බී, සී සහ ඩී යනුවෙන් කාණ්ඩ 4ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබෙන අතර, එම එක් එක් කාණ්ඩ තවත් අනු කාණ්ඩ 3ක් යටතේ වර්ග කර තිබේ. තරග ජයග්‍රහණය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වීම නව කොන්ත්‍රාත් ක්‍රමවේදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබිණි.

ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිත කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනය කළ බවත්, තම අත්දැකීම් අනුව තවමත් නිවැරදිම ක්‍රියාවලිය කුමක්ද යන්න ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සොයා ගෙන නැති බවත් ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා මේ කොන්ත්‍රාත් ගිවිසුම හඳුන්වා දෙමින් පැවසීය. මේ නව කොන්ත්‍රාත් ක්‍රමවේදය අනුව ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල වැඩිම වැටුප් ලබන අතර, එක් අයකුට ගෙවන මුදල රුපියල් කෝටි 2 (අ.ඩො. ලක්ෂ 1)කි. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග අංශ 3ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත් වීමට හේතුවකි. එහෙත් කොන්ත්‍රාත් ගිවිසුම හඳුන්වා දුන් පසුව පැවැති බංග්ලාදේශ එක්දින තරගාවලියේදී මෙයින් වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයකුට මුල් තරග දෙකේ ස්ථානයක් අහිමි වී තිබීමද කාගේත් කතාබහට ලක් වූ සිදු වීමකි.

Related posts

Leave a Comment