“කළු දිලීර” රෝගය දියවැඩියා රෝගීන්ට සහ කොරෝනා සුව වූවන්ට ආසාදනය වීමේ වැඩි ඉඩක්

ඉන්දියාවේ ‘කළු දිලීර’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වයට ගොදුරු වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12,000 පසු කර ඇතැයි වාර්තා වේ. ඉන් වැඩි පිරිස කෝවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෝ වෙති. එමෙන්ම කළු දිලීර වයිරසය ආසාදනය වීම සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර, මරණ අනුපාතය 50%ක් පමණ වන බවත් ඉන්දීය වෛද්‍යවරු කියති. දියවැඩියාව ඉහළ මට්ටමක පවතින රෝගීන්ට කළු දිලීර ඉක්මනින් ආසාදනය වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. කෙසේ වුවත් ලොව පුරා අවම වශයෙන් රටවල් 38ක පමණ කොවිඩ් වසංගතයට පෙර කළු දිලීර ලෙස හඳුන්වන මුකෝර්මිකෝසිස් රෝගීන් වාර්තා වී ඇතැයි ද, ඉන්දියාවේ සහ පාකිස්තානයේ ජනගහනයේ මිලියනයකට රෝගීන් 140ක් පමණ වාර්ෂිකව වාර්තා වන බව ද දිලීර වසංගත සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් පෙන්වා දෙයි.

මේ අතර දිලීර ආසාදන පිළිබඳ විශේෂඥයකු වන මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඩෙනින් පවසන්නේ ලොව කිසිදු රටකට වඩා කළු දිලීර රෝගීන් ප්‍රමාණයක් කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවෙන් වාර්තා වූ බවය. මේ රෝගය දියවැඩියාව සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බවත්, ඉන්දියාව දියවැඩියා රෝගීන් බහුල රටක් බවත් එම විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත. කළු දිලීර ආසාදනයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 94%ක් දියවැඩියා රෝගයට ගොදුරුවූවන් බව නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

Related posts

Leave a Comment