ශ්‍රී ලංකාවේ ආයෝජනය කර පරිවර්තනීය ගමනකට එක් වන්න

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් පරිවර්තනීය ගමනකට එක් වන්නැයි “2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව පුරා ආයෝජකයන්ට ආරාධනා කළේය.

රජයේ දැක්ම සහ අභිලාසය වන්නේ, වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාප අතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම බවත් මෙහි ආයෝජනයෙන් වරාය නගරය දෙන සුවිශේෂ ශක්තීන් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සියලු රටවල ව්‍යාපාරිකයන්ට ඉඩ ප්‍රස්තාව උදා වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධාන කරන “2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදය” තෙදින සමුළුව ඊයේ (07) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපති රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සමුළුව මගින් ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ සමස්ත අත්දැකීමක් සහ පුළුල් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

සමුළුවේ දෙවන දිනය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ තෙවන දිනය මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික නිමැවුම්, වර්තමාන මට්ටමේ සිට ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 8,000ක් දක්වා දෙගුණ කිරීම සඳහා පරිවර්තනීය හා වේගවත් ආර්ථික වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද්විතීය භූගෝලීය පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන සහ සමාජ ව්‍යුහය, උගත් හා දක්ෂ ශ්‍රම බළකාය යනාදි සාධක මෙරට සතු ශක්තීන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම සාධක ප්‍රයෝජනයට ගන්නා බව පැවසීය. ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයක්. කොළඹ සහ හම්බන්තොට වරායන් සතු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් මගින් කාර්ය බහුල වූ ඉන්දියන් සාගරයේ ගමන් කරන විශාලතම බහාලුම් නැව්වලට පවා සේවා සැපයීමට සමත්ව සිටිනවා.

කලාපයේ ප්‍රති නැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති හෙයින් මෙම අංශවල ආයෝජනය සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයට සහාය දැක්වීමට රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න බව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවට හැකි වේවි. මෙම සන්දර්භය තුළ නව තාක්ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදුකෙරෙන ආයෝජන සඳහා අවස්ථා රැසක් නිර්මාණය වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවෙන් 70%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවීම රජයේ ඉලක්කය හෙයින් විදුලිබල සැපයුම තිරසරව ඉහළ නැංවිය හැකි සහ කාර්මීකරණය වැඩිදියුණු කිරීමට මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ද ජනාධිපතිවරයා ඇරයුම් කළේය.

අධි තාක්ෂණික කර්මාන්ත සඳහා භාවිත වන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ශ්‍රී ලංකාව සතු බවත් මෙම සම්පත්වලට අගය එකතු කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට රජය උනන්දු වන අතර අනාගතයේදී ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉලෙක්ට්‍රෝනික උපාංග නිෂ්පාදනය කිරීමේ මාවතට පිවිසීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ද ආයෝජකයන්ට ඉඩකඩ ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ලොව පුරා විසිරී සිටින ප්‍රධාන පෙළේ ආයෝජකයෝ ඇතුළු 3,500කට අධික පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම තෙදින සමුළුවට එක්ව සිටිති. විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා පැවැත්වෙන ආසියාවේ පළමු හා විශාලතම මාර්ගගත සංසදය මෙය බව සංවිධායකයෝ පැවසූහ. යුරෝපයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවසායකයන්ගේ පහසුව පිණිස දෙවන සැසියක් ලෙස සමුළුව විකාශය කිරීමටත් සැලසුම් කර තිබේ.

අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන්ග් (Woonjin Jeong), ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama), චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong), යුරෝපා සංගමයේ නියෝජිත දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් (Thorsten Bargfrede) සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරී මාර්ටින් කෙලී (Martin Kelly) යන මහත්වරු සම්පත් දායකයන් ලෙස සමුළුවට සහභාගී වෙති.

එක් එක් රටවලට අදාළ සැසිවාරවලදී ඒ ඒ රටවල් නියෝජනය සඳහා ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් ද සමුළුව ඇමැතීමට නියමිතව තිබේ.

ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා අන්තර්ජාතික කථිකයෝ රැසක් සමුළුවට එක්ව සිටිති.

Related posts

Leave a Comment