බොරු පුවත් පළ කරන්නන්ට නිසි දඬුවම් දෙන්න

පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට උපදෙස් දී තිබෙන්නේ මේ දිනවල අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍යවල පළ වන ප්‍රවෘත්ති හේතුවෙන් මහජනතාව විවිධ දුෂ්කරතාවලට ලක් වන බවට පෙනී ගොස් ඇති හෙයින් එවැනි පුද්ගලයන් පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි. මෙම අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුලු ප්‍රවෘත්ති නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාළ වීමක් ද දක්නට ලැබෙන අතර කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග අධෛර්යයවත් කිරීමත් ඩෙංගු පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග සෘණාත්මක කිරීමටත් බලපාන බව වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එමනිසා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් එවැනි පුවත් ප්‍රකාශයට පත් කරන, තවත් අය අතර බෙදා හරින පුද්ගලයන් සම්බන්ධවත් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබේ. යම් අයෙක් අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කර කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව මුළා කරන්නේ නම් එමගින් මහජනතාව අතර අසන්තෝෂය ඇති කරන්නේ නම් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද වරදක් වන බව පවසයි.

ජාතීන් ආගම් අතර වෛරය ඇති කරන අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම ද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේද දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මේ දිනවල අන්තර්ජාලය හරහා අසත්‍ය පුවත් පලකරන විවිධ පුද්ගලයන් පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබේ. 

Related posts

Leave a Comment