පොලීසිය ලබාදුන් ස්ටිකරය අවභාවිතා කරන්න එපා

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පුද්ගලයන් හට ප්‍රමාදයකින් තොරව රාජකාරි ස්ථාන වෙත වාර්තා කිරීමට පහසුවක් වන ලෙස පොලිසිය විසින් හඳුන්වා දෙනු ලැබූ නව වර්ණ ස්ටිකර් ක්‍රමවේදය අවභාවිත නොකරන ලෙසත් එම ස්ටිකරය ඇලවීම වාහනය පරික්ෂා නොකර සිටීමට හේතුවක් නොවන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. අතවශ්‍ය සේවා සඳහා ගමන් කරනු ලබන වාහන සඳහා මෙම වර්ණ ස්ටිකරය ඊයේ (07) සිට ඇලවීම ආරම්භ කළ අතර, එය සංචරණ සීමා අවසන් වන තුරු අදාළ මාර්ග බාධකවලදී රථවාහනවලට ඇලවීමට පොලිසිය විසින් ක්‍රියා කරනු ලබයි. වාහනයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන් සංඛ්‍යාව එම ස්ටිකරයේ සලකුණු කරනු ලැබේ.

පොලිසිය ඉල්ලා සිටින්නේ මෙම ස්ටිකර ඇලවීම වාහනය පරීක්ෂා නොකර සිටීමට හේතුවක් නොවන අතර මාර්ගයේ සිටින පොලිස් නිලධාරීන් විසින් වාහනය තුළ සිටින්නන් නියමිත අයද යන්න අවශ්‍ය අවස්ථාවලදී පරික්ෂා කෙරෙන අතර එබැවින් එය අවභාවිත කිරීමෙන් වළකින ලෙසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹ නගරයට ඇතුළුවන රථවාහන වර්ගීකරණය කර ඒවා සඳහා වර්ණ 11කින් යුත් ස්ටිකර් ඇලවීම සිදු කෙරෙන අතර ඒ අනුව සෞඛ්‍ය සේවාව සඳහා කොළ වර්ණය, ත්‍රිවිධ හමුදාව හා පොලිසියට නිල් වර්ණය, අතවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරිම රතු වර්ණය, අතවශ්‍ය සේවා සැපයීම කහ වර්ණය, රාජ්‍ය අංශයේ රාජකාරි සඳහා රෝස වර්ණය, ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහනය දුඹුරු වර්ණය, පිසූ ආහාර අංශයේ රැකියා සඳහා අළු වර්ණය, පුද්ගලික අංශයේ රැකියා (බැංකු මූල්‍ය ආයතන ඇතුළු) දම් වර්ණය, සන්නිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණය, විදේශ ගතවීම් සුදු වර්ණය, මානුෂීය හේතූන් (රෝගීන් ප්‍රවාහනය, රෝගීන් බැලීමට යෑම, අවමංගල්‍ය හෝ වෙනත්) කළු වර්ණය හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ යම් පුද්ගලයකු අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔහු නිරෝධායන රීති උල්ලංඝනය කළ බවට අනාවරණ වන්නේ නම් එවැනි පුද්ගලයන් නිරෝධායනයට යොමු කරන බවයි.

Related posts

Leave a Comment