අද රැයේ නවක ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකා පිල එංගලන්තය බලා යයි

  • තරග කාලසටහන මෙන්න
  • ජූනි 18: කැන්ටබරිහිදී එක්දින පුහුණුවීම් තරගය
    ජූනි 20: හෝව්හිදී විස්සයි 20 පුහුණු තරගය
    ජූනි 23: කාඩිෆ්හිදී පළමු විස්සයි 20 තරගය
    ජූනි 24: කාඩිෆ්හිදී දෙවන විස්සයි 20 තරගය
    ජූනි 26: සවුත්හැම්ප්ටන්හිදී තෙවැනි විස්සයි 20 තරගය
    ජූනි 29: ඩර්හැම් හිදී පළමු එක්දින තරගය
    ජූලි 1: ලන්ඩනයේදී දෙවන එක්දින තරගය
    ජූලි 4: බ්‍රිස්ටල්හිදී තෙවැනි එක්දින තරගය

එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකක් සදහා ශ්‍රී ලංකා පිල අද මධ්‍යම රාත්‍රියේ එංගලන්තය බලා පිටත්වෙයි. එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් මෙම තරගාවලියට අයත්වන අතර එංගලන්තයට ගොඩවී නිරෝධායන කාල සීමාවෙන් අනතුරුව පුහුණු තරග දෙකකට සහභාගීවීමට නියමිතය. පළමු පුහුණු තරගය මේ මස 18 වැනිදා කෙන්ට් පිල සමග හා දෙවැනි පුහුණු තරගය 20 වැනිදා සසෙක්ස් ප්‍රාන්ත පිල සමග පැවැත්වීමට නියමිතය. අනතුරුව අන්තර්ජාතික විස්සයි 20 තරගාවලිය ජූනි 23 වැනිදා කාඩිෆ් හිදී ආරම්භවන අතර චෙස්ටර් ලී ස්ට්‍රීට් හී රිවර් සයිඩ් ක්‍රීඩා පිටියේදී 29 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වේ.

අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලක් එංගලන්තය බලා පිටත් වූයේ වසර 2016දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් වන අතර එහිදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණ වාර්තා කිරීමට නොහැකි විය. එම තරගාවලියේදී ටෙස්ට් තරග තුනෙන් දෙකක ජය එංගලන්තය දිනාගත් අතර, තරග 5කින් සමන්විත එක්දින අන්තර්ජාතික තරගාවලියේ තරග 3-0ක් ලෙස හා විස්සයි 20 තරගයේ ජය එංගලන්තය හිමිකර ගත්තේය. එම තරගාවලියට සහභාගී වූ ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් මෙවර තරගාවලියට එක්කර නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. එමෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කිහිප දෙනකුම මෙම සංචාරයට ඇතුළත් නොවේ.

එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා 24 දෙනකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත්කොට ඇති අතර තවමත් එක්දින වරම් දිනා නැති ධනංජය ලක්ෂන්, ඉෂාන් ජයරත්න, චරිත් අසලංක සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සිව්දෙනා මෙවර සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙම තරගාවලිය සදහා සධීර සමරවික්‍රම, කමිල් මිෂාරා, අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම ද නම් කර ඇත. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මෙතෙක් එක්දින තරග 75ක් පවත්වා ඇති අතර එයින් තරග 36 බැගින් දෙරටම ජයගෙන ඇති අතර තරගයක් සමවී නිමා වූ අතර තරග දෙකක විසදුමක් නොවුණි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර විස්සයි 20 තරග ඉතිහාසයේ තරග 9ක් පවත්වා ඇති අතර එයින් තරග 5ක ජය එංගලන්තයත් තරග 4ක ජය හ්‍රී ලංකාවත් හිමි කර ගෙන සිටී.

එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය: කුසල් පෙරේරා ( නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, අවිෂ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, වනින්දු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ඉසුරු උදන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ ඉෂාන් ජයරත්න.

Related posts

Leave a Comment