හොකී නිලවරණයේ වාරණ නියෝගය දීර්ඝ කරයි

කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ නියෝග කලේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීම වළක්වමින් එම සංගමයේ සභාපති ඇතුළු නිලවරණ කමිටුවට නිකුත් කළ වාරණය ලබන 11 දින දක්වා යළි දීර්ඝ කරන ලෙසයි. වාරණයට එරෙහිව විත්තිය ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මේ නියෝගය නිකුත් කර ඇත. මැයි 31 සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තිබු නිලවරණය වළක්වමින් රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති මලින් ප්‍රසන්න ලියනගේ මහතා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මීට පෙර පසුගිය 2වැනිදා මේ වාරණය නිකුත් කරනු ලැබූ අතර, ඊට එරෙහිව ගොනු කරනු ලැබූ විරෝධතාවක් සළකා බැලීමට ඊයේ යළි නඩුව කැඳවා තිබිණි.

හොකී සම්මේලන නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන රාජ්‍ය සේවා හොකී සංගමයේ සාමාජික ඩී.එස්.කේ. පුෂ්පකුමාර මහතා තම සංගමයේ අනුමැතියකින් තොරව රාජ්‍ය සේවා හොකී සංගමයේ ලේකම් දර්ශන විජේසිංහ මහතා සමග එක්ව කටයුතු කරමින් නීති විරෝධිව නිලවරණයට ඉදිරිපත්ව ඇති බවත්, එසේ සංගමයේ අනුමැතියකින් තොරව නිලවරණයට සහභාගි වීම වළක්වන ලෙසත් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි. වාරණ නියෝගයට එරෙහිව සිය නීතිඥයන් මගින් විරෝධතා ගොනු කළ පුෂ්පකුමාර මහතා අධිකරණයට කියා සිටියේ වාරණ නියෝගය අධිකරණයට කරුණු වසන් කරමින් ලබා ගෙන ඇති බැවින් එය ඉවත් කරන ලෙසය. අදාළ විරෝධතා සලකා බැලු දිසා අධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් වාරණය යළි දීර්ඝ කළේය.

Related posts

Leave a Comment