ආපදා වන්දි ගැටලු ඇත්නම් 117 අමතන්න

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය දිනවල දිස්ත්‍රික්ක 10කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සහ දේපළ හානි සම්බන්ධයෙන් වන්දි මුදල් ගැනීම පිළිබඳ යම් ගැටලුවක් පවතී නම් 117 දුරකතන අංකයට හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අමතන ලෙසයි. අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වන්දි මුදල් තීරණය කරන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම මුදල් දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවද පැවසීය. පසුගිය 3 වැනිදා සිට මෙරටට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ඊයේ (9) පෙරවරුව වන විට මියයෑම් 21ක් වාර්තා වූ අතර, දිස්ත්‍රික්ක 10ක පවුල් 43,890ක පුද්ගලයන් 172,132ක් බලෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදාවට ලක්වූ ජනතාවට වන්දි මුදල් දීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බවද ප්‍රකාශ කළ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්ද, නිවාස හානි වෙනුවෙන් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂ විසිපහ දක්වා මුදලක් තක්සේරු වාර්තා අනුව දීමට කටයුතු කරන බවත් සඳහන් කළේය. රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවද කී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා නාය යෑම් එකවර නොවන බවත් ඒ පිළිබඳ පෙර ලක්ෂණ බොහෝ විට දැකිය හැකි බවත් නාය යෑම් පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිරන්තර අවධානයෙන් කටයුතු කරන බවද පැවසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 5කි. පූර්ණ නිවාස හානි 21කි. අර්ධ නිවාස හානි 1,095කි. සුරක්ෂිත මධ්‍යස්ථාන 60ක පවුල් 694ක පුද්ගලයන් 2,689ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පවුල් 1,349ක පුද්ගලයන් 4,741ක් ඥාති නිවෙස්වල සිටිති. පසුගිය දිනවලදී ගංවතුර, නාය යෑම්, පස් කඳු කඩා වැටීම් වැනි හේතූන් නිසා ජනතාව පීඩාවට පත් විය. ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, ගාල්ල දිස්ත්‍රික්කයන්හි ජනතාව පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් විය.

Related posts

Leave a Comment