ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 6ක ප්‍රධානයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැති යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාර හිමිව තිබේ. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර ඊයේ (9) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි. කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහිද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහිද ජනාධිපති රාජපක්ෂ මහතා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය. ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා ඇමැති කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම්, ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය, ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Leave a Comment