නිරෝධායන රීති කැඩූ 27,000ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (9) ප්‍රකාශ කළේ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 26,920 දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එම පිරිසෙන් 26,000කට පමණ මේ වන විට අධිකරණවල නඩු පවරා ඇති අතර, ඉතිරි පිරිසටද නඩු පැවරීමට කටයුතු කරමින් ඇති බවයි. නිරෝධායන සංචරණ සීමා මෙන්ම රට තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින මොහොතේ වුවද නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිසේ අඩු වීමක් දක්නට නොලැබෙන බවත් හෙතෙම පැවසීය.

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,034 දෙනකු ඊයේ (9) උදෑසන 6.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. මේ දක්වා එක් දිනකදී නිරෝධායන රීති කඩ කළ වැඩිම පිරිස වන පුද්ගලයන් 1,047 දෙනකු පසුගියදා (31) අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාතෙන් පිට වන සහ ඇතුළු වන ස්ථාන 14ක මාර්ග බාධකවලදී පෙරේදා (8) කිසිදු හේතුවක් නොමැතිව පළාත් මායිම් හරහා යෑමට පැමිණි පුද්ගලයන් 70ක් ඔවුන් පැමිණි වාහන 36ක් සමඟ ආපසු හරවා යැවීමටද පොලිසිය කටයුතු කර තිබේ. නිරෝධායන රීති කඩ කරන පුද්ගලයන් සොයා ඩ්‍රෝන මෙහෙයුම් මෙන්ම නිල ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදවා මෙහෙයුම් සිදු කරන්නේ ජනතාව අපහසුතාවට පත් කිරීමට නොව කොවිඩ් රෝගය ව්‍යාප්තිය වැළැක්වීමට හා අපේ රට එම ව්‍යසනයෙන් මුදා ගැනීමට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

Related posts

Leave a Comment