විශ්‍රාම ගිය හෙද-හෙදියන් නැවත සේවයට ගන්න – අගමැතිගෙන් උපදෙස්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ (9) උපදෙස් දුන්නේ විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව මත කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. රට පුරා හෙද හෙදියන් 34,000ක් පමණ මේ වන විට සේවයේ නිරතව සිටින අතර, ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මේ හමුවේ අරමුණ වී තිබිණි.

ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දුන්නේය. ඊට පිළිතුරු ලෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්. එච්. මුණසිංහ මහතා කියා සිටියේ දැනටමත් හෙද හෙදියන් 840 දෙනකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1,000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්ය. හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කළ විමසීමට පිළිතුරු දුන් සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බවය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයේ නිරත සියලු කාර්යය මණ්ඩල මේ වන විට විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ව එන්නත් කිරීමේ කටයුතු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසුවේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට පාහේ මේ වන විට කොවිඩ් එන්නත් දී ඇති අතර, ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට දෙවැනි මාත්‍රාව දීම මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා පැවසීය. සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

හෙද උපාධිය දීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය ඇමැතිවරියට දැනුම් දුන්නේය. මේ වන විට හෙද උපාධිය දීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මේ හමුවේ දී හෙළි වූ අතර, අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙහිදී තීරණය විය. අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ලෙස සිටි සමයේදී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩි කර නැතැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ, එම දීමනාව වැඩි කර දෙන්නැයි ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අය-වැය තුළින් එය ඉටු කර දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. ඒ. ඩී. කල්‍යාණි, උප සභාපති ආර්. කේ. බටුවිට, උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා, කඳාන හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. ඒ. කීර්ති මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.

Related posts

Leave a Comment