ශ්‍රී ලංකා පිල එංගලන්තයට – නායකයා කුසල් ජනිත්

එක්දින හා විස්සයි20 තරග 3කට බැගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (9) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 24 දෙනෙක් ඇතුළත් වෙති. නවක ක්‍රීඩකයන් ලෙස වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම, තුන්ඉරියව් ක්‍රීඩකයන් ලෙස ධනංජය ලක්ෂාන් සහ චරිත් අසලංක සහ ඉෂාන් ජයරත්න කණ්ඩායමට ඇතුළත් වීම කැපී පෙනේ.

ප්‍රවීණ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් එංගලන්ත සංචාරයට එක් නොවූ අතර, වේගපන්දු බළ ඇණිය ශක්තිමත් කිරීමට නුවන් ප්‍රදීප් යළි කැඳවා තිබේ. ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම මත බටහිර ඉන්දීය කොදෙව් දුපත් සංචාරයට සහ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් නොවූ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙවර එංගලන්ත සංචාරයට එක් වී සිටින අතර, අෂේන් බණ්ඩාර කණ්ඩායමට නම් කර නැත. වෙනදාට ක්‍රිකට් ආයතනයේ සිට ගමන් අරඹන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර නිරෝධායන කාලසීමාවක් ගත කිරීමෙන් පසු හෝටලයේ සිටම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පිටත්ව ගියේය.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය. කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම

තරග කාලසටහන

ජූනි 23-

පළමු විස්සයි20 (කාඩිෆ්)

ජූනි 24-

දෙවැනි විස්සයි20 (කාඩිෆ්)

ජූනි 26-

තුන්වැනි විස්සයි20 (සදම්ප්ටන්)

ජූනි 29-

පළමු එක්දින (චෙස්ටර් ලේ ස්ට්‍රීට්)

ජූලි 1-

දෙවැනි එක්දින (ලන්ඩන් ඕවල්)

ජූලි 4-

තුන්වැනි එක්දින (බ්‍රිස්ටල්)

ෆවුස් මොහොමඩ්

Related posts

Leave a Comment