සජිත්ගේ හැසිරීම අනුව අනාගතය තීරණය වෙයි

සමඟි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට පළ වූ පුවත් සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රණවක මහතා පැවසුවේ තමන් කිසි දෙනෙක මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවයි.රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු එනවාද නැද්ද තමන් නොදන්නා බව කී ඒ මහතා තමන් 2019 පසු රනිල් වික්‍රමසිංහ මහතාට කතා කර නැති බවත් කීවේය.

මේ රටේ දේශපාලනය නිපුණතාව ඇති පරම්පරාවකට උරුම කරන්නට සිහිනයක් තමන්ට තිබෙන බව කී ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ පාරම්පරික ප්‍රභූ පැලැන්තියේ නෂ්ටාව ශේෂයක් බැවින් තමන් ප්‍රභූ පැලැන්තියට විරුද්ධව කටයුතු කරන බවද කීවේය. මේ කාරණය සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඉටු කර ගත හැකි දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණවක මහතා කියා සිටියේ 2019 දී තිබුණු හොඳම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා බැවින් ඒ සමඟ එක්ව කටයුතු කළ බවයි. ඉදිරියේදී සමඟි ජන බලවේගයේ පැවැත්ම සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය බවත් ඊළඟ අවස්ථාවේ කෙසේ වෙයි දැයි මට හෝ වෙනත් කිසිවකුටවත් කීමට නොහැකි බවත් හෙතෙම කීවේය.

Related posts

Leave a Comment