බුදුන්ගේ පාත්‍ර ධාතුව තිබෙන්නේ මහනුවර ද..? බ්‍රිතාන්‍යයේ ද..?

“රජ තෙමේ ථූපාරාමය කරවා එහි ඇතුලේ සක් දෙවිදුන් විසින් දෙන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කළේය. අනුරාධපුරයෙහි ගොඩනැංවූ පළමුවන දාගැබ මේ දාගැබ ය. ධර්මාශෝක රජු විසින් පරිත්‍යාග කරන ලද බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව ද රජ මාලිගයෙහිම තැන්පත් කොට තබන ලදී.” (සංක්ෂිප්ත ලංකා ඉතිහාසය – එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් 13 පිටුව )

“උපතිස්ස (ක්‍රි.ව. 365 – 406) වැනි රජුන්ගේ කාලවල නියං සාගත ඇති වූ විට භික්ෂුන් වහන්සේලා පාත්‍ර ධාතුව ජලයෙන් පුරවා පිරිත් කියමින් ඇතුළු නුවර පවුරු වටේ සංචාරය කළ බවත් එයින් පසු සියලු රෝග නිමා කරමින් වැසි වට බවත් වංශකතාව දක්වයි.” (ඉතිහාස තරංග – ඉන්ද්‍රකීර්ති සිරිවීර 53 පිටුව )

අපගේ වංශකතා, සාහිත්‍ය හා බෞද්ධ පතපොත එසේ දැක්වූ බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව අද ඇත්තේ කොහිදැයි විමසා බැලෙන ලිපියකි.

අද දළදා සමිදුන්ගේ දන්ත ධාතුව මහනුවර දළදා මාලිගාවේ වඩා හිදුවා සිටී. එය දළදා ප්‍රදර්ශනයකදී ජනතාවට දැක බලා ගත හැකිය. එහෙත් බුදුන් වහන්සේ භාවිත කළ පාත්‍රය අද අදෘශ්‍යමානය. එය ඇත්තේ කොහිද? බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව ලක්දිවට ගෙන ආවේ දෙවන පෑතිස් රජ සමයේ සුමන සාමනේර හිමියෝ ය. උන්වහන්සේ මිහිඳු හිමියන්ගේ බෑණා ය. සංඝමිත්තා තෙරණිය පැවිදි වීමට පෙර අග්ගිදත්ත කුමරු හා විවාහ වී සිටියදී ඒ දෙපළට ලද දරුවාය. ධර්මාශෝක රජුගේ මුනුපුරෙකි. උන්වහන්සේ මිහිඳු හිමියන් සමග පොසොන් පෝදා ලක්දිවට පැමිණි දූත පිරිසේ අයෙකි. පාත්‍ර ධාතුව වැඩම කරවීමේදී සිදු වූ හාස්කම් මහාවංශයේ සදහන් වෙයි.

කිත්සිරිමෙවන් රජ සමයේ අභයගිරිවාසීන් සතුව තිබූ දළදා හිමි සහ පාත්‍ර ධාතුව මෙරට පූජනීයම වස්තු විය. මේ පූජනීය වස්තු දෙක සතු වීම එදා රාජ්‍ය අයිතිය ලබා ගැනීමට අවශ්‍ය මූලික දෙය විය. එබැවින් රජ මැදුර අසලම දළදා මැදුර ඉදි කිරීම ඇරඹිණි. දැඩි මුරකාවල් යොදා මේ පූජනීය වස්තු දෙකම රැක ගැනිණි. දළදා හිමි සහ පාත්‍ර ධාතුව සුගලා රැජනගෙන් ලබා ගැනීමට මහා පරාක්‍රමබාහු රජු කළ සටන් විස්තරය චූල වංශයේ දැක්වෙයි. පොලොන්නරුව වනසා බලය ලබා ගත් මාඝ (ක්‍රි.ව.1215 – 1235) සමයේදී දළදා වහන්සේගේ පාත්‍ර ධාතුව රහසිගතව කොත්මලේ මල්නෑව විහාරයේ සඟවා තිබිණි. ක්‍රි.ව. 1234 – 1269 අතර කාලයේ දඹදෙණිය රජ කළ දෙවන පරාක්‍රමබාහු රජු මේ පූජනීය වස්තු දෙක සිය රාජධානියට වැඩම කරවීය.

දළදා වහන්සේ පිළිබඳව ඉන් පසුව වංශකතාවල සදහන් කළද කෝට්ටේ යුගය ඇරඹෙන තුරු පාත්‍ර ධාතුව පිළිබඳව තොරතුරු සදහනක් නැත. කෝට්ටෙන් පසු මෙරට රාජ්‍ය පාලනය සෙංකඩගලපුරයට මාරු වෙයි. එහෙත් සීතාවක දෙල්ගමු විහාරයේ සිට 1592 දී සෙංකඩගලට වැඩම කළේ දළදා හිමි බව “දළදා පුවත” සහ “සිංහල දළදා වංශය” සදහන් කරයි. ඒවායේ පාත්‍ර ධාතුව ගැන විස්තරයක් නැත.

කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු හෝ දොන් ජුවන් ධර්මපාල රජ වන තුරු කෝට්ටේ දළදා හිමි සමග දළදා මැදුරේ එකට වැඩ සිටි පාත්‍ර ධාතුව ගැන සදහනක් නැත. හිරිපිටියේ රාල වර්ෂ 1557 දී කෝට්ටේ සිට සීතාවකට වැඩම කළේ දළදාව පමණකි. සපුමල් කුමරු 1470 දී කෝට්ටේ රාජධානියට පහර දී ජයබාහු මරා රජ වූ පසු අවුල් වූ රාජධානියෙන් දළදා හිමි දෙල්ගමුවට වැඩම කළ බව සදහන් වෙයි. මේ අවදියේදී දළදා මැදුරේ තිබූ පාත්‍ර ධාතුව උඩරටට ලැබුණේද ? එසේ නම් විය යුත්තේ කෝට්ටේ ආරවුල් නිසා රහසිගතව හෝ යුද උපාය මාර්ගයකින් එය වීරවික්‍රම රජුට ලැබීමය. එහෙත් ඒ පිළිබඳ විස්තරයක් ද සඳහන්ව නැත.

“රාජරත්නාකරය” සහ “චූලවංශය” සදහන් කරන්නේ වීරවික්‍රම රජු සෙංකඩගල පුරවරයේ රජ මැදුරට නුදුරු දාගැබක පාත්‍ර ධාතුව නිදන් කළ බවය. සෙංකඩගල පුරයේ වීරවික්‍රම නම් රජෙකු ගැන ඉතිහාසය සදහන් නොකරයි. මොහු කවුද? ඒ පිළිබඳව එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් සදහන් කරන්නේ ඔහු සේනාසම්මත වික්‍රමබාහු (ක්‍රි.ව. 1463 – 1471) බවය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ වීරවික්‍රම හා වික්‍රමබාහු එක් අයෙකු වීමට ද ඒ බව සැක කිරීමට ද හැකි බවය. කෙසේ වූවද නිදන් කළ පාත්‍ර ධාතුව ඇත්තේ රජ මැදුර අසල කුමන දාගැබක ද යන්න සොයා බලන විට මේ සම්බන්ධයෙන් මත කීපයක් පළවේ. වීරවික්‍රම රජු කරවූ පෝයමළු විහාරයේ ඇති දාගැබ තුළ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති බවට පළ වන මතය පළමුවැන්නයි.

දෙවැන්න , දළදා මාලිගයේ පහත මාලයේ පිහිටි කුඩා දාගැබ තුළ එය නිදන් කර ඇති බවයි. තුන්වැනි මතය නම් එය බෙලිගල රාජමහා විහාරයේ දාගැබක නිදන් කර ඇති බවය. සිව්වැනි මතය නම් දළදා මැදුර ඉදිරිපස ඇති දාහතර වැනි සියවසේදී ගොඩනගන ලද නාථ දේවාල භූමියේ එක සමානව ඉදි කළ දාගැබ් දෙකකින් එක් දාගැබක පාත්‍ර ධාතුව නිදන් කර ඇති බවය. නාථ දේවාලයේ එක් දාගැබක් දෘශ්‍යමානය. තවත් දාගැබක පාදමක් පුරාවිද්‍යා කැණීමකින් මෑතකදී මතු කරගෙන තිබේ.

කෙසේ වූවද වර්ෂ 1880 දී රචිත ලෝරිගේ වාර්තාවක දැක්වෙන්නේ නාථ දේවාලයේ වූ පැරණි දාගැබක් ඉංග්‍රීසි යුගයේදී බිදින ලද බවයි. ඉන් මතුකරගත් නිදන් වස්තු යළි ලබා ගත හැකි වූ බවත් එහි සදහන් වී යැයි මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියෝ පවසති. එසේ නම් පුරාවිද්‍යා කැණීම් වලින් මෑතකදී මතුකරගත් දාගැබ එසේ බිඳින ලද දාගැබ දැයි විමසිය යුත්තකි. එනමුත් එහි තිබූ නිදන් වස්තු අතර පාත්‍ර ධාතුව තිබුණු බවට කිසිදු සඳහනක් නැත.

එසේ නැතහොත් බිඳින ලද දාගැබේ තිබූ පාත්‍ර ධාතුව ඉංග්‍රීසීන් විසින් එදා (වෙනත් වටිනා කෞතුක වස්තු මෙන්) බ්‍රිතාන්‍යයට රැගෙන ගියා දැයි විමසිය යුතුය. ඒ මන්ද යත්, 1940 – 50 ගණන් වලදී මහනුවර යුගය හා උඩරට කැරැල්ල සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයේ විමර්ශනයක යෙදුණු මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන්ගේ සඳහනක් නිසාය. ඔහු “පැරණි දඹදිව හා ලංකාව ” කෘතියේ සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේ දන් වැළදූ පාත්‍රය තමන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකදී දුටු බවය. එසේ නම් ලෝරිගේ වාර්තාවේ සදහන් පරිදි නාථ දේවාලයේ බිදින ලද දාගැබේ තිබූ පාත්‍ර ධාතුව දැන් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ද යන්න විමර්ශනය කළ යුතුය.

2004 දී ලොව පුරා පැතිර ගිය පුවතකින් පැවසුණේ බුදුන් වහන්සේ පරිභෝජනය කළ පාත්‍රයක් ඇෆ්ගනිස්තානයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවය. එදා විසාලා මහනුවර සිට කුසිනාරා නුවරට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් පාත්‍රයක් විසාලා මහනුවරුන්ට සිහිවටනයක් ලෙස ලබා දුන් බවට සහ ඔවුන් බුදුන් වහන්සේට පාත්‍රයක් පූජා කළ බවට මත පැතිර තිබිණි. ඒ අයුරින් බලන විට අද ඇෆ්ගනිස්තානයේ තිබෙන්නේ එම පාත්‍ර දෙකෙන් එකක් විය හැකි යැයි අනුමානයක් පවතී. එය ඇෆ්ගනිස්තානයට ගියේ කෙසේද යන්න පිළිබඳව අපහැදිලි නමුත් මෙවැන්නක් සනාථ වෙයි.

බුදුන් වහන්සේගේ පාත්‍රය එදා කනිෂ්කගේ අගනුවර වූ පුරුෂ්පුත්‍ර නම් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. එම ප්‍රදේශය අද හැදින්වෙන්නේ පෙෂාවෝර් නමිනි. එම නගරය අද අයත් වන්නේ පාකිස්තානයටයි. එරට ඛයිබර් පැඩටුන් ඛාබා ප්‍රාන්තයේ විශාලතම නගරය එයයි. පුරුෂ්පුත්‍ර වෙත ගෙන ආ මෙම පාත්‍රය පසු කාලයේදී ගන්ධාර් වෙත ගෙන ගොස් තිබේ. අද ගන්ධාරය අයත් වන්නේ ඇෆ්ගනිස්තානයට වන අතර හැඳින්වෙන්නේ කන්දහාර් නමිනි.

මීට වසර දෙදහසකට පෙර එදා එය පුරුෂ්පුත්‍ර සිට ගන්ධාරයට රැගෙන එන්නට ඇත්තේ ආක්‍රමණිකයන් විසින් යැයි අනුමාන කෙරේ. විසාලා මහනුවර සිට එය පුරුෂ්පුත්‍ර වෙත රැගෙන ගොස් ඇත්තේ කුශාන් රාජ වංශයේ කනිෂ්ක අධිරාජයාය. ඔහු ක්‍රි.ව. 127 – 151 දක්වා සිය රාජධානියේ අගනුවර වූ පුරුෂ්පුත්‍ර වෙත ගෙන විත් තැන්පත් කර ඇතැයි පැවසේ. ෆාහියන් සහ හියුං සියැන් භික්ෂුන් වහන්සේලාත් පසු කලෙක බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ කනින්හැම් 1880 – 81 අතර කාලයේ සිය කෘතිවල සදහන් කර ඇති පාත්‍රයත් ඇෆ්ගන් කෞතුකාගාරයේ ඇති පාත්‍රයත් එකක්ම දැයි යන්න තහවුරු කර ගැනීමට ඉන්දියාවේ ආචාර්ය රඝුනාත් ප්‍රසාද් සිං උත්සාහ දරා තිබිණි. ෆාහියන් වාර්තාවේ මෙසේ සදහන්ව ඇත.

“බුදුන්ගේ පාත්‍ර ධාතුව මෙහි තිබේ. පුරාණයෙහි ඉයුඑෂි හි රජෙක් මේ පාත්‍ර ධාතුව පැහැර ගෙන යනු පිණිස මහත් බල පිරිසක් කැටුව මෙරටට පැමිණියේය. රට අල්ලාගත් පසු රජතුමා සහ සේනාපතිවරු බෞද්ධයන් හෙයින් පාත්‍රය ගෙනයනු සදහා මහදන් පවත්වන්නට පටන් ගත්තේය. ත්‍රිවිධ රත්නය කෙරෙහි මහදන් පවත්වා අන්තයෙහි මහත් හස්තිරාජයෙක් සර්වාභරණයෙන් සරසා පාත්‍ර ධාතුව ඌ මතුවෙහි තැබුවේය. හස්තිරාජයා එතැන්හි බිම දන ගැසූ සෙයින් ඉදිරියට ගමන් කිරීමට ඕ හට නොහැකි විය. ඉන් පසු රෝද සතරක් පිට පිහිටුවන ලද මාහැගි රථයක් සරසවා පාත්‍ර ධාතුව එහි තබාගෙන යන්නට සැරසුනේය. රථය ගෙන යෑමට හස්තීන් අට දෙනෙක් එහි යොදවන ලද්දාහුය. හස්තීන් අට දෙනෙක් එකවර ඇද්ද නමුත් රථය සෙලවීමට බැරිවිය. පාත්‍ර ධාතුව තම සතු කිරීමට කාලය නොපැමණි බව කල්පනා කොට රජතුමා බලවත් කනස්සල්ලටද ලැජ්ජාවටද පැමිණියේය. ඒ ස්ථානයේ විහාරයක් ද දාගැබක් ද රජතුමා විසින් බන්දවා පාත්‍ර ධාතුව ආරක්ෂා කිරීම පිණිස හා සියලු දානෝපකරණ දෙවන පිණිස දායකයින් රඳවා පිටත්ව ගියේය.” ( ෆාහියන්ගේ බෞද්ධ රාජධානි සහ වන්දනා ගමන් විස්තරය )

දැන් ඇෆ්ගනිස්තානයේ තිබෙන පාත්‍රය කිලෝ ග්‍රෑම් 400 ක් පමණ බරැතිය. එය එසැවීමට මිනිසුන් දහ දොළොස් දෙනෙක් අවශ්‍යය. උසින් මීටර් 4කි. විශ්කම්භය මීටර් 1.75 කි. පාත්‍රයේ ඝනකම සෙන්ටිමීටර් 18 කි. එය හොදින් මටසිළුටු වන සේ මැදි කළු ගලින් තැනුණකි. එහි බඳ වටා අරාබි අක්ෂර පේළි 7 ක් කොටා ඇත. ඉන් කියැවෙන්නේ කුමක්දැයි මෙතෙක් අනාවරණය කොට නැත. ඔප දැමූ මතුපිට මෞර්ය ගල් කැටයම් සිහිපත් කරන නෙළුම් පෙති කැටයමකි.

සැබවින්ම උපකල්පනය කළහොත් බුදුන් වහන්සේට මෙවැනි පාත්‍රයක් ඔසවාගෙන යා නොහැකිය. එබැවින් එය බුද්ධ පාත්‍රයෙහි අනුරුවක් යැයි සැලකිය හැකිය. (මෙහි ස්වරූපය අජන්තා ලෙන් බිතුසිතුවම්වල දක්නට ලැබෙන බුද්ධ පාත්‍රයකට සමානය.)

  • බෙලිගල

පෘතුගීසි ආක්‍රමණ සමයේදී පාත්‍ර ධාතුව රහසිගතව නිදන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී එය ඓතිහාසික බෙලිගල රජමහා විහාරයේ ස්තූපයක තැන්පත් කෙරුණු බව බෙලිගල තඹ සන්නසේ සදහන් වී තිබේ. එය සැබෑවක් නම් බුදුන්ගේ පාත්‍ර ධාතුව අද ඇත්තේ බෙලිගල විහාරය සතුවය.

  • කොළඹ මාලිගාකන්ද

බුදුන් වහන්සේ දන් වැළදීමට භාවිත කළ මැටි පාත්‍රයක කොටසක් අද කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ කරඩුවක තැන්පත් කර තිබේ. එය ලැබී ඇත්තේ 1882 දී බටහිර ඉන්දියාවේ සොපාරා ස්තූපයෙනි. ( එදා අපරන්ත ජනපදයේ සුප්පාරක පට්ටන නම් ස්ථානයෙනි ) එහි නිදන් කර තිබූ කරඩු පහක් තුළ තිබුණු මැටි පාත්‍රයේ කොටස් 13න් හොදම කොටස 1882 දී ඉන්දියාවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට පරිත්‍යාග කර තිබේ.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පාත්‍ර කිහිපයක්ම භාවිත කරන්නට ඇත. ඒ අතරින් සියලුම පාත්‍ර හෝ පාත්‍ර කොටස් නිදන් කර ඇති බැවින් අද අදෘශ්‍යමානය. එහෙත් විද්‍යෝදය පිරිවෙනේදී බුදුන් වහන්සේ පරිභෝජනය කළ පාත්‍රයක කොටසක් සියැසින් දැක බලා ගැනීමට පුළුවන. දෘශ්‍යමාන අනෙක් බුද්ධ පාත්‍රය ඇත්තේ ඉතිහාසඥ ලෝරී කියන පරිදි නාථ දේවාලයේ බිඳින ලද දාගැබින් බ්‍රිතාන්‍යයට ගෙන යන ලද? හා මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන් දුටු පරිදි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදැයි විමර්ශනය කළ යුතු වෙයි.

Related posts

Leave a Comment